දැවැන්ත සංවර්ධනයක් අපේ සුළුතර ආණ්ඩුව ඉටු කළා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – එදා බහුතර බලයක් තිබූ රාජපක්ෂ ආණ්ඩුවට ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ සංවර්ධනයක් වත්මත් ආණ්ඩුව සුළුතර බලයක් තිබියදී ක්‍රියාත්මක කළ බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය රජය මගින් වසර පහක් තුළ සංවර්ධනය සදහා යෙදවූ මුදල වත්මන්‍ රජය එක් වසරක් තුළ යෙදවීමට හැකි වූ බවත් ඉදිරියේදී සුළුතර බලයක් ඇති වත්මන් රජයට බහුතර බලයක් ලබාදුනහොත් වසර දෙකක් තුළ සීඝ්‍ර සංවර්ධනයක් මගින් ආර්ථිකය ස්ථාවර කරන බව වැඩිදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (28 ) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ පැවති ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන සදහා එක්වෙමිනි.

එහිදී ඉඩම් හිමිකම්පත් 2540ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදුන්නේය.

අනතුරුව වලව කලාපයේ මහවැලි අධිකාරියේ ජාතික සේවක සංගම් කර්‍යාලය විවෘත කිරීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

බහුතර බලයක් තිබෙන ආණ්ඩුවකට වඩා ස්ථාවර භාවයෙන් අපි මේ ආණ්ඩුව අද ගෙනයනවා. අපි නිකන් වලේ ඉන්න නෙමෙයි බලාපොරොත්තු වුණේ. තුනෙන් දෙකක බලයක් ඇති අණ්ඩුවක් නොකරපු දේවල් අපි කළා. උදාහරණයක් ලෙස කිව්වොත් අපේ රටේ බහුතරයක් ජනතාවට ඉඩම් ඔප්පු තිබුණේ නෑ. 1930 සිට මහවැලිය නිමවා 1995 වෙනතුරු ජනතාවට ඉඩම් දුන්නා. ඒවායේ ජීවත්වූ ජනතාව වගා කළා කඩසාප්පු හැදුවා. එහෙත් මේ කාටවත් එහි බුක්තිය විදින අයිතිය තිබෙන ලියවිල්ලක් තිබුණේ නෑ. 2002 එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් යටතේ අපි ඒ අයිතිවාසිකම එවකට ඉඩම් ඇමති රාජිත සේනාරත්න ඇමතිතුමාගේ කාලයේ ලබාදෙන්න හදද්දී ජන්දයෙන් පරාජය වූ නිසා එම අයිතිය ජනතාවට ලබාදෙන්න නොහැකි වුණා. ඊට පසුව බලයට පත් ආණ්ඩු කිව්වේ යුද්ධය අවසන් වුණාට පස්සේ ලබාදෙන්නම් කියා. ඒ කියපු අයට 2010 තිබුණා තුනෙන් දෙකක ආණ්ඩුවක් ඒත් දුන්නේ නෑ. 2015 යහපාලන රජය බලයට පත්වී 2018 ගයන්ත කරුණාතිලක ඇමතිතුමා ඉඩම් ඇමති වූ විට එතුමා ලබාදුන්නා සැමට ඉඩමෙ අයිතිය. අද ඔබට ඔබේ බුක්තිය තහවුරු කරන නීත්‍යානුකූල ලියවිල්ල ලැබී තිබෙනවා. අද මේ රටේ දුප්පත් ජනතාවෙන් බහුතරයකට ඉඩමේ අයිතිය ලබාදී තිබෙනවා. මේ රටේ දනපති පන්තියට පමණක් තිබූ ඉඩමේ අයිතිය මේ රටේ අහිංසක ගොවි ජනතාවටත් ලබාදීමට හැකිවුණා.

මා හට මේ ජනතාවගෙන් අහන්න තිබෙන්නේ එක දෙයයි. අද මේ රටේ බහුතරයක් නැති ආණ්ඩුවට ඉඩමේ අයිතිය ලබාදෙන්නට හැකිවුණා නම් මේ රටේ 2010 සිට තුනෙන් දෙකක බලය තිබූ පසුගිය ආණ්ඩුවට කරන්න බැරිවුණේ ඇයි කියායි.

දැන් ආපසු ඒ ආණ්ඩුව බලය ඉල්ලන්නේ ඉඩම් ඔප්පු ලබාදෙන්නද?. එදා ඒ අයට කරන්න බැරිවුණානම් ඒ අය අදත් අදක්ෂයෝයි. නමුත් වත්මන් රජයට අහිංසක ජනතාවගේ ඉඩමේ අයිතිය ලබාදීමට හැකිවුණා. එදා අපි මේ රට භාරගද්දි අපිට ණය ගන්න බැරිවුණා. බොහෝ ණය අරගෙන ණය ගෙවන්න බැරි වුණ ආණ්ඩුවක් අපි 2015 භාරගත්තේ. අපි ඒ ණය වාරික ගෙවලා ආර්ථිකය ශක්තිමත් කළා. දැන් අපිට ණය ගණ්න පුළුවන් තැනට පත්වෙලා තිබෙනවා. දැන් ඊළගට අපිට තිබෙන්නේ අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. අපි ඒ ණය ගෙවන්නත් අලුත් සංවර්ධනයක් ආරම්භ කළා. සුළුතරයක් තිබෙන අපිට මේ සියල්ල කරන්න හැකිවුණානම් ඇයි බහුතරයක් තිබුණ විපක්ෂයයට එදා කරන්න නොහැකි වුණේ. ආපසු ඒ අයට මේක කරන්න පුළුවන්ද?

එදා අධ්‍යාපනයට යෙදවූ මුදල 2005 සිට අඩු වුණා. ඒ අය කිව්වා යුද්ධයෙන් පස්සේ වැඩිකරනවා කියා. නමුත් යුද්ධයෙන් පස්සේ වැඩිකළේ නෑ. අද අපි ඇවිත් ළගම පාසල හොදම පාසල යටතේ ගොඩනැගිලි දෙනවා, සුරක්ෂා යටතේ ශිෂ්‍යන්ට රක්ෂණය ලබාදෙනවා, පුහුණු ගුරුවරුන් ලබාදෙනවා, මන් අහන්නේ 2005 සිට 2010 වනතුරු අණ්ඩු කළ අයට ආපසු මේවා කරන්න පුළුවන්ද කියා.

එදා හදපු නිවාස ගණන සීමා සහිතයි. මේ සුළුතරයක් තිබෙන ආණ්ඩුව කොපමණ නිවාස හදා තිබෙනවාද. දැනට අමාත්‍යාංශ හතරකින් නිවාස හදනවා. නිවාස අමාත්‍යාංශය මගින් උදාගම්මාන හදාගෙන යනවා, කදුරට අමාත්‍යාංශය මගින් වතුකරයේ නිවාස හදාගෙන යනවා. චම්පික රණවක අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය මගින් නගරයේ අඩු ආදායම්ලාභීන්ට නිවාස හැදෙනවා. මාගේ අමාත්‍යාංශය යටතේ උතුරු, නැගෙනහිරට නිවාස ලභාදෙනවා. පසුගිය රජය වසර 10ක හදපු නිවාස ගණන අපි වසරක් තුළදී නිමකර තිබෙනවා. මා ඔබෙන් අහන්න කැමතියි අවුරුදු දහයක් නිවාස හදන්න බැරිවූ අයට ආපසු අපි වාගේ නිවාස සෑදීමේ ව්‍යාපෘතීන් කරන්න පුළුවන් වෙයිද කියා.

විපක්ෂයේ අය කියනව ඒගොල්ලෝ කොළඹ නගරය හැදුවා කියා. 2010 සිට 2015 වනතුරු ඒ අය සංවර්ධනයට වියදම් කළ මුදල අපි එක් වසරකදි පමණක් වියදම් කරනවා. ගෝල්ෆේස් එක් ළග හෝටල් නෙමෙයි අද කුලුණු මතින් ඉදිවන සැහැල්ලු දුම්රියක් සහ මාර්ග පද්ධතියක් ඉදිවෙනවා, කොළඹ නගරයේ බහු ප්‍රවාහන් මධස්ථානයක් ඉදිවෙනවා. අලුත් මහනගරයක් හදනවා. මේවා එදා බහුතර බලය තිබෙද්දී හදන්න බැරිවුණ අයට ආපසු හදන්න පුළුවන් වෙයිද. මම ඔබෙන් අහන්න කැමතියි පසුගිය කාලයේ අසාර්ථක වූ ආණ්ඩුවකට නැවත සාර්ථක වෙන්නේ කොහොමද කියා. සාමාන්‍යයෙන් දෙපාරක් ෆේල් වූ රජයක් කොහොමද ආපසු වරක් පාස් වෙන්නේ. පළවන පාරත් දෙවන පාරත් සංවර්ධනය ෆේල් වුණා. අපේ රජයෙන් කළ වැඩ කොටසක් විතරයි මා සදහන් කළේ.

මා ඔබට කියන්නේ මේ සුළුතර ආණ්ඩුවට බහුතරයක් ලබාදී ඉදිරි මැතිවරණයේදී අපට බලය දී අලුතින් සිතා වැඩකටයුතු කිරීමට අපට බලය දෙනවාද කියා ඔබෙන් මා අසනවා. සුළුතරයක් තියාගෙන මෙපමණ වැඩකටයුතු කරන්න පුළුවන් වුණානම් බහුතරයක් තියාගෙන මොනවාද කරන්න බැරි. වසර දෙකකින් වැඩකටයුතු සියල්ල නිමකර විශාල සංවර්ධනයක් කරදෙන්න පුළුවන් අපිට.

මෙම අවස්ථාව සදහා මැති ඇමතිවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, හේශාල් විතානගේ, කරූ පරණවිතාන, ඒ.ඒ විජේතුංග සහ රාජ්‍ය අංශයේ නිළධාරීන් රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *