අගමැති විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ විශ්වවිද්‍යාල පද්ධතිය නියෝජනය කරන උප කුලපතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ලාංකේය විශ්වවිද්‍යාල මුහුණදෙන ගැටලු හා අභියෝග පිළිබඳවත්, අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳවත් සාකච්ඡා කළහ. ඊයේ (29 ) කොළඹ, අරලියගහ මන්දිරයේ දී පැවති මෙම සාකච්ඡාවට විශ්වවිද්‍යාල උප කුලපතිවරු 14 දෙනෙක් එක්වී සිටියහ.

විශ්වවිද්‍යාලයීය ප්‍රමිතීන් ඉහළ නැංවීම, ස්වාධීනත්වය තහවුරු කිරීම, පශ්චාත් උපාධි පාඨමාලා, ඉංගිරිසි අධ්‍යාපනය, උපකුලපතිවරුන්ගේ කාර්යභාරය ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි. විශ්වවිද්‍යාල තුළ සිදුවන ශාරීරික, මානසික මෙන්ම සයිබර් වධ හිංසා සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙ‍රිණි.

විශ්වවිද්‍යාල ප්‍රජාව සිය අධ්‍යයන කටයුතු යහපත් පරිසරයක සිදුකරලීමේ අවකාශ උදාකරදීමේ සහ නවීන ලෝකයට සරිලන පරිදි විශ්වවිද්‍යාල‍යන්හි හැඩරුව සකස්කරලීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *