සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් 21 වනදා සිදුවීමෙන් බිඳුණු හදවත් යළි එක් කිරීමට ආගමික නායකයන් නායකත්වය ගත යුතු අතර පටු දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා දේශපාලනඥයන් ද ඒ සඳහා ජාතියේ වගකීම ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අමතමිනි.
අප්‍රේල් 21 වනදා සිදුවීමෙන් අහිමි වූ ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් අන්තවාදය පරාජය කර මතු පරපුර වෙනුවෙන් රට තුළ සාමය, සමඟිය සහ සහජීවනය තහවුරු කිරීමට සියලුදෙනාට එකට එක් විය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 21 සිදුවීමත් සමග රටේ ජනතාව අතර ඇති වූ වෛරය, බිය, සැක සහ අවිශ්වාසය තුරන් කිරීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන බවයි.

සාමය, සහෝදරත්වය සහ සහජීවනය ගොඩනැංවීම උදෙසා කැපවීමෙන් කටයුතු කරනවා සේම ත්‍රස්තවාදය විනාශ කිරීමට ද කැපවි සිටින බව අවධාරණය කළ ජනාධිපතිතුමා ත්‍රස්තවාදයට රටේ කිසිදු තැනක ඉඩක් ලබා නොදෙන බවත් එය විනාශ කිරීම වෙනුවෙන් රාජ්‍ය බලය උපරිම ලෙස යොදවා තිබෙන බවත් පැවසීය.

මේ අතර ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ රටේ ජාතික සමගිය වෙනුවෙන් සියලු ආගමික නායකයන්ගේ මඟපෙන්වීමෙන් සියලු දේශපාලන පක්ෂ එක මතයකට පැමිණිය යුතු බවයි.

ඒ අනුව ජනතාව අතර බිය සැක සහ අවිශ්වාසය ඇතිකරන ක්‍රියාවන්ගෙන් සහ හැසිරීම්වලින් සියලුදෙනා බැහැරව කටයුතු කිරීමේ වගකීම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

සර්ව ආගමික නායකයන්ගේ සහ දේශපාලනඥයන්ගේ සහභාගිත්වයෙන් මෙම ජාතික සමුළුව පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආගම් හා ජාතීන් අතර සාමය, සහජීවනය, ඉවසීම සහ විශ්වාසය වර්ධනය කිරීම, විවිධ ආගමික ජනකොටස් සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වන පණිවුඩයක් ලෝකවාසින්ට සැලසීම සහ මෙරට අන්‍යාගමික ජනතාව සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත්වන බව සහතික කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි.

සර්ව ආගමික නායකයන් සහ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් රැසක් මෙම සමුළුවට එක්ව සිටි අතර ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *