ඇතැම් වෙළදාම්වලට පැනවූ තාවකාලික තහනම ඉවත්කර ගැනීමට ඇමති රවී සාකච්ඡා කිරීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතැම් වෙළදාම් වලට පැනවූ තාවකාලික තහනම ඉවත්කර ගැනීමට ආරක්ෂක අංශයත් සමඟ සාකච්ඡා කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ, ඊයේ (31) පස්වරුවේ කොළඹ 11, ඕල්කට් මාවතේ පොදු වෙළද සංගමයට ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලබාදීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ඇතිවූ අනාරක්ෂිත තත්ත්වයන් හමුවේ, ඕල්කට් මාවතේ සිදුවෙමින් පැවති වෙළදාම් වලට තාවකාලික තහනමක් ක්‍රියාත්මක කිරීමට පොලීසියට සිදුවිය. මේ වනවිට එම අස්ථාවර තත්ත්වයන් පහව ගොස් ඇති බැවින්, එසේ ක්‍රියාත්මක කිරීමට යෙදුන තාවකාලික තහනම ඉවත්කර, වෙළද සංගමයට ඇතිවී තිබෙන අපහසුතාවන් ඉවත් කිරීමට පොලීසිය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව, මෙහිදී අමාත්‍ය කරුණානායක මහතා එකගත්වය පළකළේය.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

ඕල්කට් මාවත පොදු වෙළද සංගමයට ඇතිවෙලා තිබෙන ගැටළු විසදන්න තමයි අද අපි මේ ආවේ. පාසකු ඉරිදා ඇතිවූ ඛේදනීය තත්ත්වයත් සමගින් ඇතිවූ රටේ අනාරක්ෂිතබව හමුවේ මේ ප්‍රදේශයේ සමහරක් ස්ථාන වල වෙළදාම් කිරීම අත්හිටුවන්න සිදුවුණා. මේ වනවිට එම භයානක තත්ත්වය පහව ගොස් ඇති නිසා, නැවතත් එම අත්හිටවූ වෙළදාම් කරන්න ඉඩලබාදී තිබෙනවා. නමුත් තවත් සමහරක් ස්ථාන වල තවමත් වෙළදාම් කරන්න අවසර දීලා නැහැ. පොලීසියත් සමග සාකච්ඡා කරලා, අදාළ ස්ථානයන් වලත් පනවා ඇති තහනම ඉවත් කරලා, ඇති වී තිබෙන ගැටළුසහගත තත්ත්වයන් ඉවත් කරන්නයි අද මම මේ නිරීක්ෂණයට සහභාගි වුණේ යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *