ධීවරයින්ට විශේෂ දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පිඩන අවපාතයක් හටගෙන ඇති බැවින්ඒ පිලිබදව අවධානයෙන් සිටින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට දන්වා සිටියි.

මෙම මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වෙමින් පවතින පීඩන අවපාතයෙන් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි බලපෑම් අවම කරගැනීම සදහා ධිවරයින් දැනුවත් කර ආරක්‍ෂක වැඩපිළිවෙලක් වහා ක්‍රියාත්මක කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
රාජ්‍ය අමාත්‍යතුමා සියලු ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම කාලගුණ තත්වය පිළිබද ධීවර දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරමින් සිය ජිවිත ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙසය.

ඉදිරි දින කිහිපය පුරා නිරන්තර අවධානයෙන් සිටින ලෙස සියලු ධීවර රැකියාවේ නිරත සියලු ධීවරන් වෙත ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය විසින් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ .

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිර්මාණය වෙමින් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති කාලගුණ අනාවැකියට අනුව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය මෙම අනතුරු ඇගවීම් සියළු ධීවර ප්‍රජාව වෙත මේ වන විට නිකුත් කර ඇති අතර
එලෙසම ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ මසුන් මැරීමේ නිරත බහුදින යාත්‍රා මෙම පිඩන අවපාතය පිළිබද අවධානයෙන් සිට කාලගුණ අනාවැකි අනුව වහාම ආරක්‍ෂිත ප්‍රදේශ වෙත යොමු වීමට කටයුතු කලයුතු බවද ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කල නතුරු ඇගවීමේ සදහන්ය .

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිවු දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් , ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවත් ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව සිය කාලගුණ අනාවැකියේ සඳහන් කර තිබිණි.

එමෙන්ම ඉදිරි දින කිහිපයේදී උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල (08N-20N, 80E-100E) සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවද කාලගුණ අනාවැකිය මගින් අනතුරු අගවා තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *