උසස් පෙළ විභාගය අද ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2678කදී අද (05) ආරම්භ වේ.

විභාගය මේ මස 31 වැනිදා දක්වා පැවැත්වේ.

මෙවර විභාගය සඳහා නව හා පැරණි නිර්දේශ යටතේ අයදුම්කරුවෝ 337, 704ක් පෙනී සිටිති.

නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 198,229කි. පැරැණි නිර්දේශය යටතේ පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 139,475කි. මෙවර විභාගය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 315ක් යටතේ පැවැත්වේ.

රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විභාගය සම්බන්ධව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. විභාගය ආරම්භ වන්නේ පෙරවරු 8.30ට. සියලු අයදුම්කරුවන් පෙරවරු 8.00ට පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතුවේ. අනන්‍යතාව තහවුරු කිරීම සඳහා විභාග ප්‍රවේශ පත්‍රය සමඟ ජාතික හැඳුනුම්පත හෝ වලංගු බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ හැකියි. මෙවර විභාගයේ දී අයදුම්කරුවන් ස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකතන හා විද්්‍යුත් උපකරණ මගින් විභාග වංචා සිදුකිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ.

එවැනි වංචා සිදුකරන අයදුම්කරුවන්ට වසර පහක් පුරා විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන සියලු විභාග සඳහා පෙනී සිටිමට අවසර නොමැත. විභාගය පැවැත්වෙද්දී බාහිර පාර්ශ්වයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම්, ඒ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා පොලිස් මූලස්ථානයට දැනුම් දීමට ශාලාධිපතිවරුන් දැනුවත් කර තිබේ. සෑම පැමිණිල්ලක්ම සොයා බැලීමට විමර්ශන කණ්ඩායම් ද සූදානම්. විභාග අධීක්‍ෂණ කණ්ඩායම් දිවයිනේ සෑම ප්‍රදේශයකටම යොමු කර තිබේ. විභාගය සම්බන්ධ කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදු කරන්නේ නම්, ඒවා සම්බන්ධව පහත සඳහන් දුරකතන අංක අමතා දැනුම් දිය හැකියි. ඒ, 1911 ක්‍ෂණික ඇමතුම් අංකය හා 011-2784208, 011-2784537, 011-3188350 හා 011-3140314 යන අංකවලටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *