(කොළඹ, ලංකාපුවත්) –පාස්කු දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පසුබෑමට ලක්ව තිබූ සංචාරක කර්මාන්තය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පසුගිය ජූලි මාසයේ දී විදෙස් සංචාරකයන් 115,704ක් මෙරටට පැමිණි ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අනුව 2019 වසරේ මුල් මාස 7ට දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයන් ප්‍රමාණය 1,124,153 ක් ලෙසින් සටහන් වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. කෙසේ වූවද පසුගිය 2018 වසරේ ජූලි මාසයේ දී මෙරටට පැමිණි 217,829ක විදෙස් සංචාරකයන් ප්‍රමාණයට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසයේ දී විදෙස් සංචාරකයන්ගේ පැමිණීම සියයට 46.88කින් පහළ ගොස් ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව පසුගිය මැයි හා ජූනි මාසවල දී මෙරටට පැමිණි සංචාරකයන් ගණන 2018 වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව පිළිවෙලින් සියයට 70කින් හා සියයට 57කින් පහළ ගොස් තිබේ. මේ අනුව සංචාරක පැමිණීම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද එම අධිකාරිය පෙන්වාදෙයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2019 ජූලි මාසයේ දී එක් එක් දිනයන් හි මෙරටට විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ගත්විට සෑම දිනෙකම 2,950ට වැඩි පිරිසක් මෙරටට පැමිණ තිබෙන අතර සමස්තයක් ලෙස 2019 මුල් මාස 7 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය, 2018 මුල් මාස 7 හි අගය වූ 1,382,476 ට වඩා සියයට 18.68 ක පහළ යාමකි. එමෙන්ම 2019 ජූලි මාසයේ දී පැමිණි සංචාරකයන් ප්‍රමාණය 2019 ජූනි මාසයට වඩා සියයට 83.44 ක ඉහළ යාමක් ලෙසින් සටහන් වෙයි.
කෙටි කාලයකින් ආර්ථිකයේ වෙනස්කම් රැසකට ලක් වූ ශ්‍රී ලංකාව යළිත් වරක් සංචාරක ආකර්ෂණීය රටක් බවට පත්කරමින් විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යමින් පවතින අතර, අද වනවිට විදෙස් සංචාරකයන් සඳහා හිතකර පරිසරයක් පැවතීම, නිදහස් රටක් බවට පත්වීම, අවශ්‍ය යටිතල පහසුකම් දියුණු මට්ටමක පැවතීම, සංචාරක ආකර්ෂණීය ලෙස රට නිර්මාණය කර තිබීම සහ ස්වාභාවික සෞන්දර්යය ආදී කරුණු රැසක් හේතුවෙන් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් මෙරටට පැමිණෙන බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
පැමිණෙමින් සිටින විදෙස් සංචාරකයන් නැවත නැවතත් අප රටට ගෙන්වා ගනිමින් මෙම සංචාරක පැමිණීම් වල වර්ධනය අඛණ්‌ඩව රඳවා ගැනීම වෙනුවෙන් සංචාරක ව්‍යාපාරයට රට සූදානම් කිරීම ඉතාමත් වැදගත් බව පෙන්වාදෙන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ඇති අවස්‌ථාවන් සහ එමඟින් සමස්‌ත ආර්ථිකයට ලබා ගතහැකි ප්‍රතිලාභ පිළිබඳ වටහාගෙන රජය, සංචාරක ව්‍යාපාරයට රට සූදානම් කිරීම යන කාරණය වෙනුවෙන් නොයෙකුත් පියවරයන් දියත් කරමින් සිටින බවද කියා සිටී.