(කොළඹ, ලංකාපුවත්) –ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එළැඹෙන නවසීලන්ත පිලේ ශ්රී ලංකා සංචාරයේ තරගවලින් ඉවත් කරන ලෙස ක්රීඩා ඇමැති හරීන් ප්රනාන්දු මහතා ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙත ඊයේ (05)නියෝග කළේය.
හතුරුසිංහ මහතා ශ්රී ලංකාවේ රැඳී සිටිය යුතු බවත් ඔහු හා ශ්රී ලංකා ක්රිකට් අස්සන් කොට ඇති ගිවිසුම ප්රකාරව මසකට රුපියල් ලක්ෂ 70කට ආසන්න ගෙවන දීමනාව අඩුකිරීමට සාකච්ඡා පැවැත්විය යුතු බවත් දැනුම් දී තිබේ.
හතුරුසිංහ මහතා ක්රිකට් පුහුණුකරු ලෙස සිටින්නේ නම් ක්රීඩකයන්ට මෙන්ම ඔහුට ද තරග ජයග්රහණයේ දී ගෙවීම් වැඩිවන ලෙස නව වැටුප් ක්රමවේදයක් සකස් කළ යුතුයැයි ඇමැතිවරයා පෙන්වාදී තිබේ. ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා හා ශ්රී ලංකා ක්රිකට් ආයතනය වසර 2020 දෙසැම්බර් දක්වා කොන්ත්රාත් ගිවිසුමකට අස්සන් කොට ඇති හෙයින් ඔහුට එම කාලය අවසන් වනතුරු මසකට රුපියල් ලක්ෂ 70කට ආසන්න දීමනාව ගෙවිය යුතුවේ.
ලෝක කුසලාන තරගාවලියේ දී ශ්රී ලංකා පිල අවසන් පූර්ව වටයට හෝ ගෙන යෑමට හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වය සමත් නොවූ හෙයින් සියලු පුහුණුකරුවන්ගේ සේවා කාලය අවසන් කරන ලෙස මෙයට පෙර ක්රීඩා ඇමැතිවරයා ශ්රී ලංකා ක්රිකට් වෙත දැනුම් දුන්නද, නිමාවූ බංග්ලාදේශ සංචාරය හතුරුසිංහ මහතාගේ අවසන් තරගාවලිය ලෙස ප්රකාශ විය. එහෙත් හතුරුසිංහ මහතා කොන්ත්රාත් කාලය අවසන්වන 2020 දෙසැම්බර් දක්වා තම දීමනා ගෙවිය යුතුබව අවධාරණය කිරීමෙන් එළැඹෙන නවසීලන්ත සංචාරය දක්වා ඔහුගේ සේවය ලබා ගැනීමට ශ්රී ලංකා ක්රිකට් උත්සාහ කර ඇත.
“ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව මා හමුවී හතුරුසිංහ මහතාට නවසීලන්ත සංචාරය අවසන්වන තුරු කාලයක් දිය හැකිද යන්න විමසූවා. නමුත් මා ලිපියක් යැව්වා නවසීලන්ත සංචාරයට ඔහු සම්බන්ධ කර නොගන්නා ලෙස. මට හතුරුසිංහ මහතා සමඟ පෞද්ගලික අමනාපයක් නෑ. නමුත් දැන් ඔහුට ඩොලර් 40000ක් ගෙවනවානම් ඒක ඩොලර් 25000කට පමණ අඩුකොට තරග දිනන දිනන විදිහට ගෙවීම් කරන ක්රමවේදයක් සකසන්න කියා මා දැනුම් දුන්නා. ක්රීඩකයන්ට දැන් ගෙවන ක්රමයත් එයයි. බහුතරයගේ ඉල්ලීමත් ඒකයි. ඒකට අකමැති නම් ඒ මහතාට උසාවි යන්න පුලුවන්. ක්රිකට් ආයතනයේ හිටපු අය ගිවිසුම් ගහන්න පුලුවන් ඕන ඕන විදිහට. නමුත් ඒ ගිවිසුම ඉවත් කරගන්නත් හැකි විය යුතුයි“ ක්රීඩා ඇමැතිවරයා පැවැසීය.
ලෝක කුසලාන පරාජයෙන් පසුව ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුළු ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය ඉවත්කරන ලෙස කී්රඩා ඇමැති හරීන් ප්රනාන්දු මහතා ද ශ්රී ලංකා ක්රිකට් ආයතනයට ලිඛිතවම දැනුම්දුන් අතර බංග්ලාදේශ සංචාරය ඔහුගේ අවසන් එක්දින තරගාවලිය බව ද පැවැසීය.
බංග්ලාදේශ ක්රිකට් පුහුණුකරුව සිටිය දී ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඉල්ලීමක් අනුව පැමිණි චන්දික හතුරුසිංහ මහතා ලොව ඉහලම වැටුපක් ලබන පුහුණුකරුවා ලෙස හැඳින්වුණි.