ගුණදාස කපුගේ 74 වන ජන්ම දින සැමරුම අදයි

(කොළඹ, ලංකාපුවත්) – විශාරද ගුණදාස කපුගේ කලාකරුවාගේ 74 වන ජන්ම දිනය නිමිතිකරගනිමින් ගුණදාස කපුගේ පදනම මගින් 13 වන වරටත් සංවිධාන කරන විශාරද කපුගේ ජන්ම දින ගුණානුස්මරණ පුෂ්පෝපහාරය අද(07) පැවැත්වේ.

මීට සමගාමීව ලේ දන් දීමේ කඳවුරක් ද අද පෙ.ව. 08.00 සිට ප.ව. 3.00 දක්වා ඇල්පිටිය කහදූව මිරිස්වත්ත ගුණදාස කපුගේ ස්මාරකය අභියසදී පැවැත්වෙන බව ගුණදාස කපුගේ පදනම සදහන් කළේය.

1945 අගොස්තු 7 වනිදා ගාලු දිස්‌ත්‍රික්‌කයේ ගඟබඩපත්තුවේ මිරිස්‌වත්ත නම් වූ පිටිසර ග්‍රාමයේ අට දෙනෙකුගෙන් යුත් පවුලක දෙවනියා ලෙස මෙලොව එළිය දුටු ඔහුගේ සම්පූර්ණ නම ඇල්ලමුල්ල කපුගේ ගුණදාස නම් විය. නමුත් කවුරුත් ඔහුව හැදින්වුයේ කළු මහත්තයා යන ආදරණිය නමිනි.

ප්‍රියානන්ද විඡේසුන්දර ලියූ ගී පද මාලාවට කපුගේ සරළව නිමැවූ තනුවට, විශාරද සනත් නන්දසිරි නිර්මාණය කළ සංගීත රටාවට “දෑස නිලුපුල් තෙමා – කඳුළු මුතු ලැල් සලා” ගීතය ගයනා කරමින් ගායකයෙක් ලෙස රසික හදවත් වලට ආමන්ත්‍රණය කළ කපුගේ දවසක් පැල නැති හේනේ, උල ලේනෝ, බිංදු බිංදු තාරකා, විදුලි මිණි පහන් දැවී, මගෙ හද මඬල මල් යහනකි, සිංහල සින්දු කියන, දම් පාටින් ළා සඳ බැස යනවා, බිරිඳ මගේ ඔබ, නාඹර ගොයමට, උන්මාද සිතුවම් වැනි ගීත මඟින් රසික සිත් ඇද බැඳ ගැනීමට සමත් විය.

දවසේ කරදර කරපිට, කරගල ගගා ඉන්න, සබද අපි කඳු නොවෙමු හා බිම්බරක් සෙනග ගැවසුණු වැනි ගීත තුළින් මෙරට වැඩකරන ජනතාවගේ සිතුම් පැතුම් නිරූපනය කරන්නට කපුගේ සමත් වේ. අමරදේව ශුරින් විසින් ගයනා කළ “කොළොම්තොට නැත මහලු වී” ගීතයත් විජය කුමාරණතුංගයන් විසින් ගයනා කළ “දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්” ගීතයත් රචනා කරන්නේ කපුගේයි.

පළමු කැසට් පටය ලෙස “දම් පාටින් ලා සඳ” කැසට් පටය මාලනී බුලත්සිංහල සමඟ නිකුත් කරන්නේ 1980 වසරේදී ය. පසුව කළ කැසට් අතරින් රසිකයන් ආදරයෙන් වැළදගත් කැසට් ලෙස සීතල සඳ එළියේ (1981), උන්මාද සිතුවම් (1983), ඉරබටු තරුව (1999) හා සඳ රෑ සිහිනේ (2000) හැදින්විය හැකිය.

තමන්ට ලැබෙන ජනතා සම්මාන උතුම් කර සැලකූ මෙම අසහාය කලාකරුවාට එම සම්මාන නොඅඩුව ලැබුණු බවට සාක්ෂියක් ලෙස අදටත් ඔහුගේ ගීත වල ඇති ඉහළ ජනප්‍රියතාව ගෙන හැර දැක්විය හැකිය.ඉහළ ජනතා ප්‍රසාදයට අමතරව ඔහුට ලැබුණු සම්මාන අතර –

ස්වර්ණ සංඛ සම්මානය – හොඳම කටහඬ (1996), සරසවි සම්මානය – හොඳම කටහඬ (1996), රස සංගීත සම්මානය – හොඳම ගායකයා (1997), ජනාධිපති සම්මානය – හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා (1997), සරසවි සම්මානය – හොඳම කටහඬ (1997), OCIC සම්මානය – නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය(1997), ජනාධිපති සම්මානය – හොඳම ගායකයා (1998) හා සරසවි සම්මානය – ප්‍රසාද පූජා සම්මානය (1999) එම සම්මාන ගොන්නට අයත් වේ.

2003 වසරේ අප්‍රේල් මස 03 වන දින විදෙස් සංචාරයක් නිමවී පැමිණීමේදී බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිදු වූ හදිසි අනතුරකදී තුවාල ලැබූ ඔහු රෝහල් ගත කිරීමෙන් පසු එදිනම කපුගේ අවාසනාවන්ත ලෙස මිය යන්නේ ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි හිඩැසක් ඉතුරු කරමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *