සැප්තැම්බරයේ බදු සහන රැසක්

(කොළඹ, ලංකාපුවත්) – අයවැයෙන් යෝජිත වැට් සහන එළඹෙන සැප්තැම්බරයේ සිට ලබාදෙන බව ඊයේ (6) නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය කියා සිටියේය.

සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්, සංචාරක නිකේතන, ආපන ශාලා ව්‍යාපාර සඳහා දේශීය බැංකුවක් හරහා විදේශීය මුදල් ලැබෙන්නේ නම් එම මුදල් ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කෙරේ. එසේම විනෝදාස්වාදය සහ ක්‍රීඩා සඳහා වන යාත්‍රා සහ නැව් ආනයනය කිරීම ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කෙරේ.

එසේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපකොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දෙනු ලබන ජාතිය ගොඩනැගීමේ බදු නිදහස ප්‍රධාන කොන්ත්‍රාත්කරුටද ලබා දෙනු ලබයි. සැකසුම් නොකරන මැණික් ආනයනය කිරීමේදී බදු නිදහස හිමි වන අතර පිරිපහදු නොකළ පාම් තෙල් යොදාගෙන දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාම් තෙල් බද්දෙන් නිදහස් කර තිබේ.

එමෙන්ම එකතු කළ අගය මත බද්ද අය කිරීමද සංශෝධනය කිරීමට කටයුතු කරන බව මුදල් අමත්‍යාංශය සඳහන් කළේය. බදු කාල පරිච්ඡේදයක් අවසානයේ එළඹෙන මාසයේ 15, 20 සහ මාසයේ අවසාන දින එකතු කළ අගය මත බදු ගෙවීම් යෙදී තිබීමෙන් බදු ගෙවන්නට සේම බදු පරිපාලනයටද සිදුව තිබූ අපහසුතාව වළක්වාලමින් බදු ගෙවීමේ දිනය එළඹෙන මාසයේ 20 වැනි දින ලෙස සංශෝධනය කර තිබේ.

එමෙන්ම සහාධිපත්‍ය (Condominium) නිවාස සැපයීමේදී පනවා තිබූ එකතු කළ අගය මත බදුද සංශෝධනය කර තිබේ. ඒ අනුව රුපියල් මිලියන 25ට අඩු නිවාසවලින් යුතු නිවාස ව්‍යාපෘති සඳහා VAT බදු අය නොකෙරේ. එකතු කළ අගය මත බදු සංශෝධන පනත බලාත්මක කිරීමට පෙර නොතාරිස් ආඥා පනත අනුව විකිණීමේ ගිවිසුමක් මඟින් ලියා අත්සන් කර ඇති හෝ අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුකූලතා සහතිකයක් ලබා ගෙන ඇති සහාධිපත්‍ය නිවාස ඒකකයක් සැපයීමේදීද එකතු කළ අගය මත බද්ද අය නොකරේ. මීට අමතරව දේශීයව නිෂ්පාදනය කරන ලද සහල්වලින් සැකසූ නිවුඩු තෙල් සැපයීමද එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කර ඇත.

එසේම 2019 අයවැය මඟින් යෝජනා කළ පරිදි අපනයන අභිමුඛ ආයෝජන මණ්ඩල සමාගම් ඇඳුම් දේශීයව විකිණීමේදී ඒකක මත අය කෙරෙන එකතු කළ අගය මත බදු ප්‍රමාණය ඒකකයට රුපියල් 75 සිට 100 දක්වා ඉහළ දමා තිබේ. මෙම නව සංශෝධන සියල්ල නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය යෝජනාවලිය මඟින් ඉදිරිපත් කරනු ලැබූ බදු සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. ඊට අදාළව ඉදිරිපත් කරන ලද ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතට සහ එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත් කෙටුම්පතට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *