තාජුඩීන් ඝාතන පරීක්ෂණය – ආනන්ද සමරසේකරට අධිචෝදනා

(කොළඹ, ලංකාපුවත්) –රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ සිරුරෙන් ලබාගත් අස්ථි කොටස් අතුරුදන්වීමේ සිදුවීමට අදාළව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ඊයේ (7) කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකරනු ලැබීය.

වසීම් තාජුඩීන් මහතාගේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලට අදාළව නීතිපතිවරයා මෙසේ නඩු පැවැරීමට කටයුතු කළ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිෂාරා ජයරත්න මහත්මිය ප්‍රකාශ කළාය. 2012 මැයි මස 17 වැනි දින මොහොමඩ් වසීම් තාජුඩීන් නම් රගර් ක්‍රීඩකයාගේ මරණය සිදු කර ඇති බව දැන දැනම, වරදකරුවන් නීත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීමේ අදහසින් සාක්ෂි ලෙස පැවැති අස්ථි කොටස් අස්ථානගත කිරීම හෝ එලෙස අස්ථානගත කරවීමට සැලැස්වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් මෙලෙස අධිචෝදනා ගොනු කර තිබේ.

ඒ අනුව තාජුඩීන් මහතාගේ මෘත ශරීරයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන අය විසින් පැවැත්විය යුතු බවට නියම කර තිබූ අවස්ථාවක එය කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් සිදු කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. ආනන්ද සමරසේකර වෛද්‍යවරයා එම මූලික පශ්චාත් මරණ පරීක්ෂණයට සක්‍රීයව සහභාගී වූ බවට කරුණු අනාවරණය නොවන බවත් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය ඔහුගේ මූලිකත්වයෙන් සිදුකිරීමට නියමිතව පැවතියත් එය කනිෂ්ඨ වෛද්‍යවරුන්ට සිදුකිරීමට භාරදී තිබූ බවත් වැඩිදුරටත් අනාවරණය වී තිබේ. එසේම මෙම මෘත ශරීරය සම්බන්ධ කටයුතු අවසන් කිරීමෙන් පසුව එකී මෘත ශරීරය ආපසු කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත ගෙන්වා ඔහු විසින්ම මෘත ශරීරයේ විවිධ අස්ථි කොටස් ඉවත් කර ඇති බව සාක්ෂිවලින් හෙළි වී තිබේ.

එසේම මෙම අස්ථි කොටස් සම්බන්ධයෙන් ඔහු වැඩිදුර විමර්ශන සිදුකරන බව පැවසුවද එම අස්ථි කොටස් පිළිබඳව මෙතෙක් වැඩිදුර විමර්ශනයක් සිදු කර නොමැති බවද අනාවරණය වී තිබේ. මෙම මරණ වාර්තාව නිකුත් කිරීමට වසර 2කට අධික කාලයක් ගෙන තිබීමත් ඔහුගේ බාරයේ තිබූ අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය කාර්යාලය තුළදී අස්ථානගත වීමත් යන හේතු නිසා මෙම අධි චෝදනා ගොනු කර තිබේ.

තවද වසීම් තාජුඩීන්ගේ මරණයට හේතුව ලෙස වෛද්‍ය ආනන්ද සමරසේකර ලබාදුන් හේතු, පසුව පත්කර ගන්නා ලද විශේෂ වෛද්‍ය මණ්ඩලයේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සමඟ ගැටෙන බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා විසින් සකස් කළ වාර්තාව අනුව වසීම් තාජුඩීන් මියගොස් ඇත්තේ හදිසි අනතුරක් සහ ගින්නක් හේතුවෙනි. එහෙත් දෙවැනි වර සිදු කරන ලද මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ මොට ආයුධයකින් පහර දීම නිසා සිදු කළ බහුතර තුවාල සහ ගින්නක් හේතුවෙන් මරණය සිදුව ඇති බවයි. ඒ අනුව දැන දැනම වරදකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් අදාළ අස්ථි කොටස් අස්ථානගත කිරීමට කටයුතු කිරීම නිසා දණ්ඩ නීති සංග්‍රහයේ 198 වැනි වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකුට එරෙහිව මහාධිකරණයක නඩු පැවරීම සිදුවූයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බව නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිෂාරා ජයරත්න මහත්මිය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *