කොළඹ කසළ අරුවක්කාලු කසළ රඳවනයට

(කොළඹ, ලංකාපුවත්) –වසර හතලිහක් පුරා වර්ධනය වෙමින් පැවති ජීවිත රැසක්ද බිලිගත් කොළඹ කසළ අර්බුදයට අද(09) සිට ස්ථිර විසදුමක් ලබාදීමට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික ‍රණවක මහතා ක්‍රියාකර තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට කොළඹ කසළ පුත්තලම අරුවක්කාලුහි පිහිටි විද්‍යාත්මක කසළ රඳවනය වෙත රැගෙන යනු ලැබේ.

පසුගිය සමයේ පැවති සියලූම රජයන් කොළඹ කසළ අර්බුදය විසදීමට පැලැස්තර ව්‍යාපෘති ක්‍රියාත්මක කල අතර අවසානයේ මීතොටමුල්ල කුණු කන්දත් බ්ලූමැණ්ඩල් කුණුකන්දත් ඉතිරි විය.

මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු සිය අමාත්‍යංශයට අයත් නොවන විශයක් වුවද එම ව්‍යාපෘතියෙන් රටට අත්වන ප්‍රතිලාභයන් පිළිබඳව සලකා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් කොළඹ කුණු සදහා ස්ථීර විසදුමක් ලබාදීම පිණිස අරුවක්කාලු විද්‍යාත්මක කසළ රඳවනය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි.

එම ව්‍යාපෘතිය මේ වනවිට සාර්ථකව අවසන් කර තිබේ.

කෙරවලපිටිය අංගනයට කසළ භාර ගැනීම අත්හිටුවීමත් සමග කොළඹ නගර සීමාවේ ගොඩ ගැසුණු කසළ අරුවක්කාලු වෙත ප්‍රවාහනය ඊයේ රාත්‍රියේ ආරම්භ කෙරිණි.

කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ලොරි රථ 15කින් අරුවක්කාලු වෙත කසළ රැගෙන ගිය බව ය.

මේ වන විට කොළඹ නගරයේ එක්රැස් වී ඇති කසළ කෙරවලපිටිය හුවමාරු මධ්‍යස්ථානය දක්වා රැගෙන යාම ආරම්භ කර ඇති අතර අද දහවල් සිට තවත් ලොරි රථ ගණනාවකින් අරුවක්කාලු වෙත කසළ ප්‍රවාහනයට නියමිත බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.

දින 4ක් පුරා කොළඹ මහ නගර සීමාවේ ප්‍රදේශ රැසක කසළ කඳු ගොඩ ගැසීමෙන් නගරවාසීහු දැඩි පීඩාවට පත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *