විදුලිබල මණ්ඩලයේ මේ වසරේ කෝටි දසදහසක අලාභයක්

(කොළඹ, ලංකාපුවත්) – ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී කෝටි දසදහසක අලාභයක් ලබන ආයතනයක් බවට පත්ව ඇති බවත් මේ අලාභයට ප්‍රධානම හේතුව වන්නේ, අපේ ජනන වියදම විකුණූම් වියදමට වඩා වැඩිවිම බවත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටී.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ලංකා විදුලිබල මණ්ඩලයීය ස්ථීර සේවක ප්‍රවාහයට අළුතින් එකතුවන ලිපිකරු, රියදුරු සහ කාර්යාල කාර්ය සහායක යන තනතුරු 100 ක් වෙනුවෙන් පත්වීම් ලිපි ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී කෝටි දසදහසක අලාභයක් ලබන ආයතනයක්. මේ අලාභයට ප්‍රධානම හේතුව වන්නේ, අපේ ජනන වියදම විකුණූම් වියදමට වඩා වැඩිවිම. මොන ආයතනයද මේ විදියට ක්‍රියාත්මක කරන්න පුලුවන්. මෙම අලාභය අඩු කරන්න, අපිට ලේසියෙන්ම විකුණූම් මිල වැඩි කරන්න පුළුවන්. නමුත් අපට අවශ්‍ය වන්නේ ජනන වියදම අඩුකිරීමෙන් එම අලාභය මකාලන්නයි. මුල් යුගයේ විදුලිය නිපදවූයේ දර වලින්. පසුව අපි ජල විදුලියට මාරු වුණා. මේ වනවිට ජල මූලාශ්‍රයන් සියල්ලම වාගේ අවසන් වී ඇති නිසාත්, අයහපත් කාලගුණික තත්ත්වයන් නිසාත් තමයි පුනර්ජනනීය ප්‍රභවයන්, තාප බලාගාර වැනි විකල්පයන්ට යන්න සිදුවෙලා තිබෙන්නේ. නිරන්තරයෙන්ම අපේ රටේ වර්ධනය වෙන විදුලි ඉල්ලුමට සරිලව සැපයුමක් ඇති කරන්න අපට තවම හැකිවෙලා නැහැ. ඒ නිසා තමයි අපි ගල් අගුරු වැනි මිල අවම ප්‍රභවයන්ට යන්නේ. නමුත් එහිදීත් නොයෙක් පිරිස් වලින් විරෝධතා මතු වෙනවා. කුඩා ජලවිදුලි බලාගාරයක් ස්ථාපිත කරන්න ගියත් එහෙමයි. පරිසර සංවිධාන වලින් විරෝධතා මතු වෙනවා. මේ තත්ත්වයන් නිසා අපි සූර්ය, සුළං වැනි ප්‍රභවයන්ට යොමු වුණා. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු කියන්නේ සූර්ය සුළං වැනි ප්‍රභවයන් ස්ථිර ජනන සැලසුම් නොවන නිසා ඒවා වැදගත් නැහැ කියලා. ඒකත් ඇත්ත තමයි. ඒ නිසා අපි එල්.එන්. ජී. තාක්ෂණයට යොමු වෙන්න තීරණය කරනවා. එහි මිල අවම නිසා අපි සැලසුම් කරලා තිබුණේ 2012 ඉදලා එල්.න්.ජී. වලින් විදුලිය ජනනය කරන්න. නමුත් මේ වනවිටත් ඒ තත්ත්වයට එන්න අපිට නොහැකිවෙලා තිබෙනවා. ලං.වි.ම. තුළ සැලසුම් සහගත වැඩපිලිවෙලක් තිබෙනවා. නමුත් ක්‍රියාත්මක කරලා නැහැ. විදුලිබල මණ්ඩලය විතරක් නෙමෙයි මේවට වගකියන්න ඕන. දේශපාලඥයෝ නිසි වේලාවට නිසි තීන්දු තීරණ නොගැනීම තමයි මේ ප්‍රමාදයන්ට හේතුව වන්නේ. මේ හැමදේකම අවසන් ප්‍රිතිඵලය තමයි, ඉන්ධන යොදාගනිමින් අධික මිලක් යටතේ විදුලිය ජනනය කරන්න සිදුවීම. ඉන්ධන මාෆියාවන් ඇති වන්නේ මේ හේතුවෙන්.

අපි නිර්භීතව නව ජනන සැලැස්මක් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙම සැලැස්ම තුළින් ගල් අගුරු, එල්.එන්.ජී. පුනර්ජනනීය ශක්තිය තුළින් හැකිතරම් විදුලිය නිපදවන්න කටයුතු කරනවා. මේ සම්බන්ධයෙනුත් නොයෙක් බාධක එල්ල වෙනවා. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ. ඒකයි මම කියන්නේ රැඩිකල් වෙනසක් ඇතිකල යුතුයි. හැකිතාක් දුරට අපි පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතුයි. විදුලි නිෂ්පාදනය වගේම විදුලිය සම්ප්‍රේෂණය, බෙදාහැරීම තුළ තිබෙන ගැටළුත් අපි විසදා ගතයුතුයි ” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *