ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත රුසියාවෙන් විශේෂ පුහුණු වැඩසටහන්

(කොළඹ, ලංකාපුවත්) –රුසියාව – ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර මිත්‍රශීලි සම්බන්ධතාවය වැඩිදියුණූ කරමින් සන්නද්ධ හමුදාවන් වෙත විශේෂ පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට කැමැත්ත පළ කර ඇත.

ශ්‍රී ලංකා – රුසියානු හමුදාවන් අතර පවත්නා ද්වීපාර්ශ්වික හමුදාමය සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත කරනු ලැබූ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අගෝස්තු මස 3 සිට 5 දින දක්වා රුසියාව තුල තෙදින සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් සහ රුසියානු පාබල හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරි ඔලෙග් ලියොනිඩොවිච් සාලියුකොව් (Oleg Leonidovich Salyukov) අතර පැවති මෙම සුහද හමුවේදී, එළඹෙන 2020 වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදා භටයින් 70 දෙනෙකු පුහුණු කරවීම සඳහා ඉඩ ප්‍රස්ථාවන් ලබාදීමට රුසියාව විසින් එකඟතාවය පලකරන ලදී. මේ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත නව සන්ධිස්ථානයක් විවෘත කරමින් වැඩි ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසකට රුසියාවේ කීර්තිමත් යුද්ධ හමුදා ඇකඩමියේ පුහුණුව ලැබීම වෙනුවෙන් ඉඩ ප්‍රස්ථාවන් ඉදිරි කාල සීමාව තුල හිමි වීමට නියමිතය.

රුසියානු පාබල හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරි ඔලෙග් ලියොනිඩොවිච් සාලියුකොව් ඇතුළු රුසියානු හමුදා ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර රුසියාවේ පැවති 2019 අන්තර්ජාතික හමුදා ක්‍රීඩා උළෙල සහ සමාරම්භක උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගීත්වය ඇගයීමට ලක් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දිවයින තුළ පවත්නා ආරක්ෂක තත්ත්වය පිළිබඳව ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක රුසියානු පාබල හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරි ඔලෙග් ලියොනිඩොවිච් සාලියුකොව් (Oleg Leonidovich Salyukov) වෙත කරුණු ඉදිරිපත් කල අතර (මිනිසුන් අතර හඳුනානොගත් සහ අදෘෂ්‍යමාණ සතුරන් සිටින බවට) දෙදෙනාම එකඟ වූහ.

මෙහිදී, 2009 මැයි මාසයට පෙර ලොව වඩාත්ම කුරිරු ත්‍රස්තවාදී කණ්ඩායමක් මුලිනුපුටා දැමීමේ අත්දැකීම් ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වැඩිදුරටත් පුළුල් කල හැකි ත්‍රස්ත මර්දන මෙහෙයුම් සඳහා යොදා ගන්නා මාර්ග සහ උපක්‍රමයන් අවබෝධ කර ගැනීමට උපකාරී වන අධ්‍යයන වැඩසටහනක් සකස් කරන ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් රුසියානු පාබල හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරි ඔලෙග් ලියොනිඩොවිච් සාලියුකොව් (Oleg Leonidovich Salyukov) වෙතින් ඉල්ලා සිටින ලදී. විශේෂයෙන් පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම, රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික මෙහෙයුම් සහ සයිබර් යුද්ධ යනාදී ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බළකාය වෙනුවෙන් රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද උපකරණ වල නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමතර උපාංග ලබාදෙමින් වැඩිදුරටත් සහාය ලබාදෙන ලෙසටද ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් රුසියානු පාබල හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරිතුමන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

එමෙන්ම, පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වර්ධනය වී ඇති මිත්‍රශීලිත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා රටවල් හයක යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වීමට නියමිත යුද්ධ හමුදා අභ්‍යාසයක් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ට ආරාධනා කිරීමට රුසියාව බලාපොරොත්තු වන බවද රුසියානු පාබල හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරිතුමන් විසින් මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *