රට සීයට සීයක් සුරක්ෂිතයි – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) –මින් ඉදිරියට සතුරා සැඟවී සිටින්නේ යුද භූමියක නොව ජනතාව අතර බවත් ඒ සඳහා අවශ්‍යය ලෙස ක්‍රියාන්විතයන් වෙනස් කරමින් හමුදාව ශක්තිමත් කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානයක මහතා පැවසීය.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිම වීමෙන් පසු පෙරේදා (14) රාත්‍රියේ මහනුවරදී පැවැති මාධ්‍යය හමුවකදී හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ඉදිරියේදී මුහුණ දීමට සිදුව තිබෙන සතුරා පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කර තිබෙන බවත් එම සතුරා අපට නොපෙනෙන සතුරෙකු(Invincible Enemy) බවත් ඒ මහතා පැවසීය.

සංවිධානාත්මකව ජාත්‍යන්තර ජාලයක් තුළ කණ්ඩායමක් ක්‍රියාත්මක වන අවස්ථාවක අත්අඩංගුවට ගැනීම් අද පමණක් නොව හෙට පවා සිදු විය හැකි බවත්, බුද්ධි අංශ නිරන්තරව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බවත් පැවසූ යුද හමුදාපතිවරයා අවධාරණය කළේ ලෝකයේ කිසිදු රටක් සියයට 100ක් ආරක්ෂාව තහවුරු කර නොමැති බවයි. පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයෙන් කෙටි කාලයක් ඇතුළත සියල්ල පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වූ බවත් ආරක්ෂාවක් සම්බන්ධයෙන් ජනතාව කිසිදු බියක් හෝ සැකයක් ඇතිකර නොගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

දේශපාලන හේතු මත විවිධ කණ්ඩායම් නොයෙක් චෝදනා කළත් යුද හමුදාව සලකන්නේ උතුරේ සහ දකුණේ සියලු ජනතාව මේ රටේ අපේ ජනතාව ලෙස බවත් මේ නිසා උතුර දකුණ බේදයකින් තොරව ජනතාවගේ ආරක්ෂාව සැපයීම වෙනුවෙන් හමුදාව ක්‍රියාත්මක වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. උතුරේ කඳවුරු ඉවත් නොකර කඳවුරු සීමා ඉවත් කරන බවත් උදාහරණයක් ලෙස අක්කර සියයක ප්‍රදේශයක් පුරා පැවැති සීමාව අක්කර පනහක් දක්වා අඩු කිරීම පෙන්වා දිය හැකි බවත් කී ඒ මහතා එසේ කළත් කිසිදු ගැටලුවකින් තොරව ආරක්ෂාව සැපයිය හැකි බවද අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *