බහුතරයක් නැතිව වත්මන් ආණ්ඩුව ශීඝ්‍ර දියුණුවක් රටේ ඇති කළා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –බහුතරයක් තම පක්ෂයට නැතිව මෙතෙක් බිහි වූ කිසිදු ආණ්ඩුවකට කිරීමට නොහැකි වූ ශීඝ්‍ර සංවර්ධනයක් සහ ආර්ථික දියුණුවක් වත්මන් ආණ්ඩුව ඇති කළා සේ ඉදිරි වසර පහ තුළදී බහුතර බලයක් ගෙන මෙම සංවර්ධනය මෙන් 10 ගුණයක සංවර්ධනයක් ක්‍රියාත්මක කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) මාවතගම සර්වෝදය ක්‍රීඩාංගණයේ පැවති මාවතගම නගරයේ සංවර්ධන ව්‍යාපෘතීන් දහසක් ජනගත කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි. එහිදී සංකේතවත් අයුරින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු සහ සමෘද්ධි හිමිකම්පත් ප්‍රදේශයේ ජනතාවට ලබාදුන්නේය.

බෝයගොඩ ශ්‍රී සුගතාරාම විහාරයට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති ඇහැලේපොළ ඉන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ආගමික වතාවත් වල නිරත විය. විහාරස්ථානයේ ඉදිකළ බහුකාර්ය සංස්කෘතික මධස්ථානයේ ඉදිකිරීම් ද නිරීක්ෂණය කෙළේය.

රුපියල් ලක්ෂ 1200 ක වියදමින් ඉදිකළ පරගහදෙණිය ජාතික පාසලේ පරිපාලන ඒකකය සහ පන්තිකාමර සහිත දෙමහල් ගොඩනැගිල්ල සහ ක්‍රීඩා සංකීර්ණය, දෙමහල් පතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

වසර ගණනාවක සිට ප්‍රදේශයේ අඩුපාඩුවක්ව පැවති රුපියල් ලක්ෂ 890ක වියදමින් ඉදිකළ මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිවු මහල් ගොඩනැගිල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහත මෙසේද පැවසිය.

ගතවූ වසර හතර තුළ කුමන බාධක පැමිණියත් රටේ ආර්ථිකය කඩාවැටීමට ඉඩනොදී ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමට හැකිවූණා. ඉදිරි වසර පහ තුළ වැවිලි සහ කර්මාන්ත ආර්ථිකයෙන් ඔබ්බට ගොස් අපනයන ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා.

සෑම මැතිවරණ ආසනයකම එහි මන්ත්‍රීවරුන්ට විවෘත කර අවසන් කිරීමට නොහැකි වැඩ කොටසක් වත්මන් ආණ්ඩුව සංවර්ධන වැඩසටහන් යටතේ ක්‍රියාත්මක කර තිබෙනවා.පසුගිය වසර හතර තුළ දී අපේ ආණ්ඩුව මඟින් මන්ත්‍රීවරුන්ටවත් ගිහින් විවෘත කළ නොහැකි සංවර්ධන ව්‍යාපෘතීන් ගණනාවක් වත්මන් ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක කර තිබෙනවා. කිසිදු ආණ්ඩුවකින් කිරීමට නොහැකි සංවර්ධනයක් අපි කළා. ගමින් ගමට ගොස් ගම්වලට අවශ්‍ය වැඩකටයුතු ක්‍රියාත්මක කර මංමාවත්, පාසල් හදලා අපි විශාල වැඩ කොටසක් කළා. එය අපි කෙළේ ඉතාමත් අමාරුම කාලයක.

පලමුවැනි වතාවට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබුණු ආණ්ඩුවක් මේ ආණ්ඩුව. සුළුතරයක් සමඟ අපට ආණ්ඩුව ගෙනයෑමට හැකි වුණේ. අනිත් ආණ්ඩු මෙන් ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය එක පක්ෂයක නොවේයි. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වුණත් එතුමා අපේ පක්ෂයේ නොවේ.

මීට පෙර තිබුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබූ ආණ්ඩුවක්. නමුත් රටේ තිබෙන ප්‍රශ්නවලට මුහුණදීමට නොහැකි නිසා ආර්ථිකය කඩාවැටුනු නිසා ජනාධිපතිවරණයට වසර දෙකක් තිබියදී මැතිවරණයට ගියා. 2015 ආණ්ඩුව භාර ගනිද්දී අපි තීරණය කළා නැවත ජනාධිපතිවරණයක් පැමිණෙන තුරු ආණ්ඩුව කඩාවැටීමට නොදී රට දියුණු කරන බවට. එය අපි කළා.

අපි මේ ගමන ආවේ බහුතරයක් නැතිව. එන සැරයේ ජනාධිපතිවරණයේදී බහුතරය ලබා එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවර අණ්ඩුවක් යටතේ මෙම සංවර්ධනය මෙන් 10 ගුණයක දියුණුවක් පෙන්වනවා. ඒ පිළිබඳව කිසිදු සැකයක් තියා ගන්න එපා.

ආර්ථිකය දියුණු කළ නිසා රටේ සෑම පුරවැසියකුගේම ආදායම සියයට 100කින් වැඩි වී තිබෙනවා. රජයේ සේවකයන්ගේ වේතන සියයට සියයකින් වැඩිවී තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය, නියගය වැනි ප්‍රශ්න කොපමණ ආවත් අපි ආණ්ඩුව කඩාවැටීමට නොදී ඉදිරියට කරගෙන ආවා. අපි දැන් විශාල පිම්මක් ගත යුතුයි. ආයෝජකයන් ලංකාවට ඒමට බලාපොරොත්තු වී සිටිනවා. අපි වැවිලි සහ කර්මාන්ත ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයකට වසර පහ තුළදී යොමු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *