පොලිසියේ 31,500කට නුදුරේ දීම උසස්වීම්

(කොළඹ, ලංකාපුවත්) –පොලිසියේ පොඩ්ඩන් 31500 කට ළඟඳීම උසස්වීම් වරම් හිමිවන අයුරින් නව ක්‍රමවේදයක් සහ ඊට වැය වන සියලු මුදල් ප්‍රතිපාදන ලබාදීමට මහා භාණ්ඩාගාරය තීරණය කොට තිබේ.

ඒ අනුව මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මේ වනවිටත් පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් ලබාදීමේ නව ක්‍රමවේදයක් සකස් කරමින් සිටී.

එපමණක් නොව මින් ඉදිරියට පුරප්පාඩු සැලකිල්ලකින් තොරව උසස්වීම් ලබාදීමේ අවශ්‍යතාවය ප්‍රතිපත්තියක් ලෙස මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව පිළිගැනීමට තීරණය කොට ඇත. ඒ නිසා ළඟදීම පොලිස් පොඩ්ඩන් 31500 කට උසස්වීම් වරම් හිමිවනු ඇතැයි මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි.

පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් ලබාදීමට මුදල් නැතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේ යැයි ඇතැම් මාධ්‍යවල පළ වූ වාර්තා බොරු කරමින්, නුදුරේදීම ඔවුන්ට උසස්වීම් ලැබෙනු ඇත.

මේ අන්දමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු 85000 කට අධික සේවක පිරිස අතුරින් 31500 ක් වැනි විශාල සංඛ්‍යාවකට එකවර උසස්වීම් ලබාදීමට අවස්ථාව උදාවනුයේ ඉතිහාසයේ පළමු වතාවට බවද මහා භාණ්ඩාගාරයේ උසස් නිලධාරියකු ප්‍රකාශ කෙළේය.

රජය , පොලිස් නිලධාරින්ට උසස්වීම් ලබාදීම සඳහා දැනටමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් පොලිස් දෙපාර්තමේන්තුවෙන් තමන් ඉල්ලා ඇති තොරතුරු ලැබුණු වහාම වැටුප් කොමිසමේ නිර්දේශ සහිතව 31500 කට අධික පොලිස් නිලධාරින් හට උසස්වීම් ලබාදීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සූදානම් බවද මහා භාණ්ඩාගාරය කියයි.

85000 කට අධික කාර්ය මණ්ඩලයෙන් යුතු පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා 31540 දෙනකු සේවයේ නිරතව සිටිති. මෙම කාර්ය මණ්ඩලයේ විශේෂයෙන් බහුතරයක් වන පොලිස් කොස්තාපල්වරුන්ට, පවත්නා පුරප්පාඩු සැලකිල්ලට නොගෙන උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නැයි පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය හරහා මේ වසරේ මාර්තු මස මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් කර තිබුණි.

පොලිස් දෙපාර්තමේන්තුවේ පත්කිරීම, උසස් කිරීමේ හා විනය කටයුතු භාර පොලිස් කොමිෂන් සභාවේද නිර්දේශ ඇති ව මෙම ඉල්ලීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කැර තිබිණි.

රාජ්‍ය අංශයේ සියලු සේවාවන් සඳහා වැටුප් ඇතුළු කාර්ය මණ්ඩල හා බඳවා ගැනීම් පරිපාටි අනුමත කිරීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරේ. ඒ අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරින් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදී.

පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදීම සඳහා මුදල් නැතැයි මුදල් අැමැති මංගල සමරවීර මහතා පැවැසී යැයි ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය මුළුමනින්ම සාවද්‍ය වේ.

පොලිස් කොස්තාපල්වරුන්ගේ උසස්වීම් සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙතින් අදාළ අංශ වෙත යොමුකරන ලද ඉල්ලීම සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදය අනුව භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවට බඳුන් වී ඇත. අැමැතිවරුන් සම්බන්ධ නොවන සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයට යටත් මෙම කරුණේදී මුදල් අැමැතිවරයා මුදල් නොමැති බව සඳහන් කරමින් මෙය ව්‍යර්ථ කිරීමට උත්සාහ දරා ඇතැයි අඟවමින් මහජනතාව නොමඟ යවන අයුරින් පුවත් පළ කර තිබුණි. තවද මෙම ක්‍රමවේදය සඳහා මුදල් අැමැතිවරයා ලෙස මංගල සමරවීර මහතා කිසිසේත් සම්බන්ධ නැත.

පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරුන් හට පොලිස් පරීක්ෂක දක්වා කාර්ය මණ්ඩල පුරප්පාඩු සැලකිල්ලකින් තොරව උසස්වීම් ලබාදීමේ අවශ්‍යතාවය ප්‍රතිපත්තියක් වශයෙන් මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව පිළිගෙන තිබේ. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය බැවින් ඒවා ලබාදෙන ලෙස වැටුප් කොමිසම පොලිස් දෙපාර්තමේන්තුව වෙත ජුනි මස ඉදිරිපත් කරන ලද ලිපියට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *