රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ජනපති අතින් විරෝදාර විභූෂණ පදක්කම් ප්‍රදානය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් විරෝදාර විභූෂණ පදක්කම් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මරණාභිමුඛ වූ අයෙකුගේ හෝ අයවළුන්ගේ ජිවිතය ජීවිත බේරාගැනීමේ හෝ ආරක්ෂා කිරීමේ අරමුණ පෙරදැරි ව ස්වකීය ආත්මාරක්ෂාවට සිදුවිය හැකි උපද්‍රව පිළිබඳ නොතකා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමා විසින් ම කරන ලද වික්‍රමාන්විත වූ ද, අභිතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නා වූ ද ක්‍රියාවන් උදෙසා යුද, නාවික සහ ගුවන් හමුදාවන්හි නිත්‍ය හා ස්වේච්ඡා බළසේනාවල නියුක්ත සෑම තරාතිරමකම පුද්ගලයන් වෙනුවෙන් සේනාධිනායක විසින් මෙම පදක්කම ප්‍රදානය කරනු ලබයි.

2016 දෙසැම්බර් මස 21 වන දින එරාවුර් සිට මඩකලපුව මහ රෝහල වෙත ගමන් කරමින් තිබු ත්‍රිරෝධ රථයක් එහි රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මඩකලපුව නගරයේ පුඩු පාලම අසල ඇති කලපුවට වැටීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් සිව් දෙනෙකු ගිලෙමින් සිටිය දී ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිතාරක්ෂාව ද නොතකා සිදුකළ වික්‍රමාන්විත වීර ක්‍රියාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රෝප්‍රල් රත්නායක මහතා සහ 2017 මැයි මාසයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ අධික ගංවතුර හේතුවෙන් විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සැලසිම සදහා ගුවන් හමුදාව විසින් දියත් කළ ගුවන් මෙහෙයුම් අතරතුර ආරක්ෂිත ආධාරකයෙන් ගිලිහී යාමෙන් සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ බලලත් නිලධාරි වයි.එම්.එස්. යාපාරත්න මහතා වෙනුවෙන් ඒ මහතාගේ බිරිඳ වෙත ද ජනාධිපතිතුමා අතින් පදක්කම් පිළිගැන්විණි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *