එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තෙවන ප්‍රදර්ශනය සැප්. 7-10 යාපනයේ දී

(කොළඹ, ලංකාපුවත්) –එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා 3වෙනි ජාතික මහා ප්‍රදර්ශනය සැප්තැම්බර් 7 – 10 දක්වා පුරා දින හතරක් යාපනය කොටුවේ දී පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය ඊයේ (19) තීරණය කළේය.

ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ ඉලක්කය ඇතිව ඉකුත් වසරේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඇරැඹි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පළමු ජාතික ප්‍රදර්ශනය සාර්ථකව ‍ඉදිරියට ගෙන ආ මුදල් අමාත්‍යාංශය ඉකුත් මාසයේ 24 – 27 දක්වා 2වෙනි ප්‍රදර්ශනය අනුරාධපුරයේ පැවැත්වූයේය. එම අවස්ථාවෙන් පසු 3වෙනි ප්‍රදර්ශනය යාපනයේ දී මෙලෙස පැවැත්වෙන අතර, ඉන් ධීවර කෘෂිකාර්මික හා කර්මාන්ත ක්ෂේත්‍ර තුනේ නව ව්‍යවසායකත්වයන් රාශියක් බිහි කිරීමට අවශ්‍ය දිරිය සැපැයීමට බලාපොරොත්තු වන බව මහාභාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා ප්‍රකාශ කෙළේය.

මීට පෙර අවස්ථා 2ක දී සාර්ථකව පැවැත් වූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය යාපනයට රැගෙන යාමෙන් සාමය, සංහිඳියාව හා සංවර්ධනය ගොඩනැඟීමට අත්වැල් සැපැයීමට බලාපොරොත්තු වන බවද දේශප්‍රිය මහතා සඳහන් කෙළේය.

නව ව්‍යවසායකයන් බිහි කර උතුරු අර්ධද්වීපයේ පවතින පසුගාමී බව තුරන් කොට මුළු රටම සංවර්ධන මාවතකට යොමු කිරීමට ද මෙවර ප්‍රදර්ශනය ඉවහල් වනු ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම්වරයා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2025 දැක්මට අනුව පොහොසත් රටක් බිහි කිරීමේ වැඩපිළිවෙළ බිම් මට්ටමේ පටන් සාර්ථකව ක්‍රියාවට නැංවීම මේ වන විට සිදුවී ඇත. එහිදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම විශාල දායකත්වයක් ලබාදී ඇත. මෙවර ප්‍රදර්ශනය සැප්තැම්බර් 7 දා උදේ 11ට මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රජයේ සෑම අමාත්‍යාංශයක් ම දෙපාර්තමේන්තුවක් ම මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන ගණනාවක් මෙවර ද ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කරනු ඇත. නව ව්‍යවසායකයන් බිහි කිරීමට අවශ්‍ය වෘත්තීය පුහුණුව, මඟ‍පෙන්වීම, සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස, ක්‍රීඩා, ආගමික අංශ දැනුවත් කිරීම් ප්‍රධාන රජයේ මහජන සේවා රාශියක ප්‍රතිලාභ මේ අවස්ථාවට එක්වන ජනතාවට හිමි වනු ඇත.

ප්‍රදර්ශනය ප්‍රධාන කලාප 10ක් යටතේ සංවිධාන කෙරේ. සෑම දිනකම පෙ.ව. 9.30 සිට රාත්‍රී 10 දක්වා ප්‍රදර්ශනය ජනතාවට විවෘතව පවතී. සෑම දිනකම විශේෂ සංස්කෘතික ප්‍රසංග, විනෝදාස්වාදාත්මක වැඩසටහන් ද පැවැත් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *