ජාතික සම්මාන උලෙළ 2019 ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන “ජාතික සම්මාන උලෙළ 2019” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත්‍ර වූයේ, මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඪත්වය ඔසවා තබනු පිණිස මෙන් ම දේශයේ අනභිභවනීය ගෞරවය සහ ප්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශ්‍රී ලාංකිකයන් ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකික පුරවැසියන් 70 දෙනෙකු මෙහි දී ජනාධිපතිතුමා අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.

ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා උදෙසා සිදුකරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයන් සඳහා ප්‍රදානය කෙරෙන ශ්‍රී ලංකා රත්න සම්මානයෙන් ජපන් ජාතික යසුෂි අකාෂි මහතා පිදුම් ලැබීය.

ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් දේශමාන්‍ය සම්මාන 06ක් පිරිනැමුණු අතර අජිත ද සොයිසා, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මෙරිල් ජෝෂප් ප්‍රනාන්දු, මොරගොඩගේ ක්‍රිස්ටෝපර් වෝල්ටර් පින්ටෝ, මහාචාර්ය මොහාන් මුණසිංහ, ආචාර්ය සුරත් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් සම්මාන පිරිනැමිණි.

මීට අමතර ව දේශබන්දු සම්මාන 10ක්, විද්‍යාජෝති සම්මාන 06ක්, කලාකීර්ති සම්මාන 09 ක්, ශ්‍රී ලංකා ශිඛාමණි සම්මාන 08ක්, විද්‍යා නිධි සම්මාන 03ක්, කලාශූරි සම්මාන 11ක්, ශ්‍රී ලංකා තිලක සම්මාන 11ක්, වීර ප්‍රතාප සම්මාන 02ක්, ශ්‍රී ලංකා රංජන සම්මාන 03ක් ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.

කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, තිලංග සුමතිපාල, වාසුදේව නානායක්කාර, යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නඩරාසාපිල්ලේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ කලාකරුවන්, විද්වතුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *