(කොළඹ, ලංකාපුවත්) – 2019 මහ කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මසට පෙර ගොවීන් සඳහා ගෙවීමට හැකි බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමති පී.හැරිසන් මහතා කියයි.
ආසන්න වශයෙන් මහ කන්නයේ අක්කර 50‚000ක් සදහා ගොවීන් 30‚000ක් වෙනුවෙන් රුපියල් මිලියන 1‚100ක මුදලක් මේ සඳහා වැයවෙතැයි අපේක්ෂා කෙරේ. ඒ සඳහා මුදල් වෙන්කිරීමට අවශ්‍යම කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවද ඇමැතිවරයා පවසයි.
මෙම වගාහානි මුදල ද රජය විසින් ලබා දීමෙන් ගොවියාට වගාහානි වන්දි කඩිනමින්ම ලබාදුන් පළමු රජය ලෙස ඉතිහාසගත වන බවද ඇමැතිවරයා කියයි.
2018 වසරේ සිට අපි පළමු වරට ගොවියාට රක්ෂණ වාරිකයක්වත් නොමැතිව අක්කරක් සඳහා වගා හානි වන්දිය 40‚000 ක මුදලක් ගෙවීමට සමත්වුණා. එවකට අක්කරයක හානි වන්දි මුදල පැවැතියේ රුපියල් දස දහසක් එයද හතරගුණයකින් එනම් රුපියල් හතලිස්දහසක් දක්වා ගෙවන්නේ මේ පළමුවරට වීම ගැන මම සතුටු වෙනවා. අපි දැනට ලංකාවේ හානිවූ වගාබිම් අක්කර 23‚366 සඳහා ගොවීන් 20‚366 කට රුපියල් මිලියන 559 ක මුදලක් ගෙවා තිබෙනවා.මිරිස්,ලොකුලූණු ,වී, සෝයාබෝංචි, බඩඉරිඟු, අර්තාපල් යන බෝග වෙනුවෙන් ගංවතුර, නියඟය, වන අලි හානි හා පළිබෝධ හානි වෙනුවෙන් ගොවිජන රක්ෂණ මණ්ඩලය මෙම වගා හානි වන්දි පිරිනමන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන් 1576 දෙනකු සඳහා ලක්ෂ 230ක වන්දි මුදල්ද මා පිරිනැමූවා. ‘යැයිද ඇමැතිවරයා පවසයි.