ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකිකයන් වන අප ඉතාමත් ප්‍රාචීන දහමකට උරුමකම් කියන අතර එම දහම මගින් සන්සුන් කරන සංස්කෘතියකින් හෙබි අභිමානවත් ජාතියක් බව ජනාධිපතිතුමා පවසයි.

එම සංස්කෘතිය විසින් බිහිකළ අගනා භාෂා, ශාස්ත්‍ර, සාහිත්‍ය, වාස්තු විද්‍යාත්මක හා කලා නිර්මාණ සමුදායක් ලෝක ශිෂ්ටාචාරයට එකතු කර තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා එම භාෂා කුලකයන් ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලාංකිකයන් වූ අපට පැවරී ඇති වගකීමක් බව ද කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ ඊයේ (29) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවේ පැවති ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.

උපාධි ප්‍රදානෝත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ අවුරුදු දෙදහසකට වැඩි කාලයක් එකම ජනවර්ගයක් එකම භාෂා කුලකයක් ව්‍යවහාර කරන පිරිස සිංහලයන් බැවින්, තවත් දීර්ඝ කාලයක් ඒවා රැකගැනීමේ වගකීම මතු පරපුරට පැවරෙන බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයට උගත්, වියත්, පරපුරක් දායාද කිරීමේ පුරෝගාමී වූ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම ඉටුකරන මෙහෙවර අගය කළ ජනාධිපතිතුමා එම ආයතනය වඩා ඉඩ පහසුකම් ඇති ස්ථානයක ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් 2012 වර්ෂයේ සිට 2017 දක්වා පවත්වන ලද ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත් 300ක පමණ පිරිසක් සඳහා ප්‍රාචීන පණ්ඩිත උපාධි පිරිනැමීම මෙහිදී සිදු විය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා මහා ලේඛකාධිකාරි, කැලණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමිපාණන් වහන්සේ වෙත “සම්මාන පණ්ඩිත උපාධිය” පිරිනැමීම ගරු ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද විශේෂ ගෞරව උපාධියකින් පිදුම් ලැබූ අතර “විබුධ ජන ප්‍රසාදක” සම්මාන උපාධිය විද්‍යෝදය පරිවෙණාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

ප්‍රාචීන පණ්ඩිත උපාධි පරික්ෂණයෙන් 2012 වසරේ ප්‍රථම පන්ති සාමාර්ථ හිමිකරගත් පූජ්‍ය මානාපිටියේ වජිරබුද්ධි ස්වාමින් වහන්සේ වෙත “ස්වර්ණ මුද්‍රිකාව” පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ සභාපති තිස්ස හේවාවිතාරණ මහතා ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *