අගමැති රනිල්ව මාලදිවයිනේ දී හරසරින් පිළිගනියි

(කොළඹ, ලංකාපුවත්) – මාලදිවයිනේ දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පෙරවරුවේ මාලේ නුවර, වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මාලදිවයිනට ළඟාවිය.

මාලේ නුවර, වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස, එරට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව මාලදිවයිනේ නිල සංචාරයේ නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මාලේ නුවර වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිට විශේෂ යාත්‍රා පෙරහරකින් මාලේ නුවර ජනරජ චතුරස්‍රය වෙත කැඳවාගෙන ලැබීය.
මාලේ නුවර ජනරජ චතුරස්‍රය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස ජනරජ චතුරස්‍රය අසල, ඉසුදීන් ජැටියේ දී, මාලදිවයින් ජනාධිපති ඊබ්‍ර‍හිම් මොහොමඩ් සෝලි මහතා සහ එම ආර්යාව ඇතුලූ එරට මැති ඇමැතිවරු විසින් මහත් උත්කර්ෂවත් අන්දමින් පිළිගනු ලැබුහ.

අනතුරුව, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස එරට ජනරජ චතුරස්‍රය වෙත කැඳවා ගෙනු ලැබූ අතර එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය විසින් ආචාර වෙඩිමුර හතක් පවත්වා ආචාරය දැක්වීය.

මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් එරට හමුදා උත්තමාචාර පෙළපාලියක් ද පවත්වනු ලැබූ අතර අග්‍රාමාත්‍යවරයා රතු පළස මතින් ගොස් හමුදා උත්තමාචාරය පිළිගනු ලැබීමෙන් පසු මාලදිවයින් සංස්කෘතිකාංග පිළිබිඹු කෙරෙන නර්තන පෙරහරකින් ශ්‍රී ලංකා අග්‍රාම්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස එරට ජනාධිපති මන්දිරය වෙත කැඳවා ගෙන යනු ලැබූහ.

මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, උසස් අධ්‍යාපන, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, සමාජ සවිබලගැන්වීමේ සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මේජර් ජනරාල් අශෝක තෝරදෙනිය, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුලූ පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *