පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම 05වනදා

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා(05) පෙරවරු 9.00 ට සිදු කිරීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

නව අධිකරණ සංකීර්ණය මහල් තුනකින් සමන්විත වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 327 ක් (රු.327750000) වැය කර තිබේ.

මහාධිකරණය 01 ක්, දිසා අධිකරණ 01ක්, මහෙස්ත්‍රාත් අධිකරණ 01 ක්, අනෙකුත් කාර්යාල පහසුකම්, වාහන නැවතීමේ ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විතව නව අධිකරණ සංකීර්ණය ඉදි කර ඇත.

වර්ග මීටර් 3700 ක බිම් ප්‍රමාණයකින් යුතුව ඉදි කර ඇති නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් මධ්‍යම ඉංජිනේරු පිළිබඳ උපදේශන කාර්යාංශය මඟින් සිදු කර තිබේ.

පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම 2017.02.25 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීම සිදු විය.

රුපියල් මිලියන 500 ක වියදමකින් ඉදි කිරීමට නියමිත වැලිමඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් සඳහා මේ වසරේ මුල්ගල තැබීම සිදු කළ අතර මෙරට මහාධිකරණයක් නොමැති එකම දිස්ත්‍රික්කය වන මාතලේ දිස්ත්‍රික්කයේ නව මහාධිකරණයක් ස්ථාපිත කිරිම ද සිදු කර තිබේ.

රුපියල් මිලියන 400 ක මුදලක් වැය කරමින් ඉදි කිරීමට නියමිත තෙල්දෙණිය අධිකරණ සංකීර්ණයට හා රුපියල් මිලියන 450 ක මුදලක් වැය කරමින් ඉදි කිරීමට නියමිත පූගොඩ නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීම මෙම වසරේ සිදු කිරීමට නියමිතයි.

මේ අතර රුපියල් මිලියන 1119 ක මුදලක් වැය කරමින් ඉදි කළ මාතර නව අධිකරණ සංකීර්ණය හා රුපියල් මිලියන 82 ක මුදලක් වැය කරමින් ඉදි කළ කල්මුනේ සිවිල් අභියාචනාධිකරණ ගොඩනැගිල්ල විවෘත කිරීම මෙම වසර තුළ සිදු කිරිමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *