පවතින නීතියට අනුව පළාත් සභා ඡන්දයක් පැවැත්විය නොහැකියි

(කොළඹ, ලංකාපුවත්) –පළාත් සභා ඡන්දය පෙර පැවති නීතිය යටතේ හෝ සංශෝධන පනත යටතේ පැවැත්විය නොහැකි බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

ඡන්දය පැවැත්වීමේ හැකියාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ මත විමසුමට අනුව මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

පළාත් සභා ඡන්දය පැවැත්වීම ප්‍රමාදවීම හේතුවෙන් ජනතාවගේ ඡන්ද බලය අහිමි වන බව පවසමින් ඡන්දය පැවැත්වීමේ හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසා සිටියේය. එය සොයා බැලීම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිදු කෙරිණු අතර ඒ අනුව ජනාධිපතිවරයා වෙත එවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරිණ. එහි දැක්වෙන්නේ 2017 ඔක්තෝබර් මස සීමානිර්ණය සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිටුවනු ඇති බවයි.

එම කමිටුව සකස් කළ වාර්තාව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාට බාරදුන් අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද අනුමත වී නොමැත. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රමුඛත්වයෙන් යුත් සමාලෝචන කමිටුවක් මගින් සකස් කළ වාර්තාව ජනාධිපතිවරයාට බාර දිය යුතුය. එම කමිටුව සිය වගකීම නියමිත පරිදි ඉටු නොකිරීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා ක්‍රියා කළේය. ඒ අනුව කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කර ඇත්තේ සමාලෝචන කමිටු වාර්තාවක් නොමැතිව සංශෝධිත පනතේ විධිවිධාන ප්‍රකාරව පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *