ශ්‍රීලනිපයේ 68වෙනි ජාතික සම්මේලනය සුගතදාස ක්‍රීඩාංගණයේ දී

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68වෙනි ජාතික සම්මේලනය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරු 2ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ මෙම සම්මේලනයේ දී එළිදක්වන බවද මහලේකම්වරයා සඳහන් කරයි. ‘ තීන්දුව හරි අතට’ තේමාව යටතේ මෙවර සම්මේලනය පැවැත්වෙන බවද ඒ මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (2) පැවැති මාධ්‍යහමුවේ දී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68වෙනි සම්මේලනය ඉතාම වැදගත් කාර්යභාරයක් සනිටුහන් කරන මොහොතක්. එයට හේතුව එක් පැත්තකින් ජනාධිපතිවරණයක් මුවවිට තබා ගෙන පැවැත්වෙන සම්මේලනයක්වීම නිසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා ආශීර්වාදය ලත් පක්ෂයක් ලෙස මෙම සම්මේලනයට 15,000කට අධික පාක්ෂිකයන් පිරිසක් සහභාගීවීම සඳහා ඉල්ලීම් කර තිබුණත් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවතින ඉඩකඩ ප්‍රමාණය අනුව එය සීමා කිරීමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස ඉදිරියේ එළැඹෙන ඕනෑම මැතිවරණයකට ශක්තිමත් ලෙස මුහුණ දීමට හැකි අයුරින් ප්‍රතිසංවිධානය කර දැවැන්ත ජනබලයක් පක්ෂය වටා ගොඩනඟා තිබෙනවා.

ඉදිරි මාසයක කාලය ඇතුළත පක්ෂයේ දිස්ත්‍රික් සංවිධාන කටයුතු ද අවසන් කරනවා. ‘සුනිල ජනවාදය’ තේමාව යටතේ පක්ෂයේ විශේෂ සැලැස්ම පක්ෂ සම්මේලනයේ දී එළිදැක්වීමට කටයුතු කරනවා. අප පක්ෂයේ ඉදිරි කටයුතු සිදුකෙරෙන්නේ එම වැඩපිළිවෙළ අනුවයි. මෙවර සම්මේලනය සඳහා දේශපාලන පක්ෂ, විදේශ තානාපතිවරුන්, පක්ෂයේ නිලධාරීන්, පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු සංවිධායකවරුන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, බස්නාහිර පළාත් හිටපු ඇමැති ගාමිණී තිලකසිරි මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *