ශ්‍රී ලංකා පිලට කනගාටුදායක පරාජයක්

(කොළඹ, ලංකාපුවත්) –ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 4ට ලකුණු 7ක් ලබා ගැනීමේ අභියෝගය මැද නිරුත්තරව සිටියදී හතරේ සීමාව අසළ පන්දු රකින්නන් දෙදෙනකු එකිනෙකා මත ගැටීමෙන් සිදුවූ උඩපන්දුවක් මග හැරී යාමෙන් ‘බෝනස් ලකුණු හයක්’ ලැබූ නවසීලන්ත පිල ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පිලට කනගාටුදායක පරාජයක් උරුම කළේය.

පන්දු 2ක් ඉතිරිව තිබියදීම කඩුලු 4කින් තරගය ජයගත් නවසීලන්ත පිල දෙපිල අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත මේ තරගාවලියේ ජය අත්කර ගත්තේ තවත් තරගයක් ඉතිරිව තිබියදීමය. මෙය ශ්‍රී ලංකා පිල පිට පිට පරාජයට පත්වූ 7 වැනි විස්සයි20 තරගය වේ.

වනිඳු හසරංග ඉනිමේ අවසන් ඕවරය යැවීමට පන්දුව අතට ගනිද්දි නවසීලන්ත පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 7ක් අවශ්‍ය වී තිබු අතර පළමු පන්දුවෙන් සහ දෙවැනි පන්දුවෙන් කඩුලු දෙකක්ම බිඳ වැටීමෙන් පසුව තරගයේ උණුසුම සෑහෙන්න ඉහළ ගියේ දෙපිලටම විවෘත එකක් බවට පත් කරමිනි. එසේ වුවත් ශ්‍රී ලංකා පිල දෙසට ජයග්‍රහණය හරවා තබමින් මිචෙල් සැන්ට්නර් ඉහළින් එල්ල කළ පහර හතරේ සීමාව අසළදී උඩපන්දුවක් ලෙසින් රැක ගැනීමට ශෙහාන් ජයසූරිය සමත්වෙද්දී කුසල් මෙන්ඩිස් ද උඩපන්දුව හඹා යාමෙන් දෙදෙනා අතර ගැටීමක් සිදුවු අතර අවසානයේදි උඩපන්දුවත් සමග ජයසූරිය හතරේ සීමාවට ඇද වැටීමෙන් නවසීලන්තයට ලකුණු හයක් හිමිවිය. ඊළඟ පන්දුවට හතරේ පහරක් එල්ල කළ සැන්ට්නර් නවසීලන්ත පිලේ ජය තහවුරු කළේය.

නවසීලන්තයට ජයග්‍රහණයේ මං විවර වුයේ පළමු තරගයේදිත් ලකුණු 44ක් රැස් කරමින් රොස් ටේලර් සමග එක්ව නවසීලන්ත පිල ජයග්‍රහණයට රැගෙන ගිය 33 හැවිරිදි දකුණත් පිතිකරු කොලින් ඩි ග්‍රැන්ඩෝම්ය. ඔහු පන්දු 46කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 59ක් රැස් කළ අතර ටොම් බෘස් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 109ක සම්බන්ධතාවක් ද ගොඩ නැගුවේය. ඔහුට අනගි සහයක් ලබා දුන් බෘස් ලකුණු 53ක් රැස් කළේ පන්දු 46කිනි.

ඊට පෙර ඔහු ලකුණු 36ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට තිබුණු කදිම අවස්ථාවක් ගිලිහී ගියේ ඉතා කනගාටුදායක අන්දමටය. තම අවසන් ඕවරය ලෙස 14 වැනි ඕවරය යැවූ අකිල ධනංජයගේ පන්දුවකට ඉහළින් එල්ල කළ පහර උඩපන්දුවක් ලෙස පහසුවෙන් රැක ගැනීමට තිබුණු අවස්ථාව ඉදිරියට දිව ඒමේදි ලිස්සා බිම ඇද වැටීම නිසා අතිරේක ක්‍රීඩක ළහිරු මධුසංඛට රැක ගැනීමට නොහැකි විය.

පළමු තරගයේදි මෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ කුසල් යුගලයට එතරම් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකිවූවත් පන්දු 30කදි ලකුණු 34ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කුසල් යුගලය සමත්විය. පන්දු 24කදි හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 26ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවී ගියේ සෙත් රන්සි යැවූ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවට එල්ල කළ පහරින් ඉහළ නැගුණු පන්දුව මිඩ් විකට් කලාපයේ සිටි නායක ටිම් සවුති සුරක්ෂිතව රැක ගැනීමෙනි.

සවුති ඕවර පහකට පසුව සිය දඟ පන්දු යවන්නන් කැඳවූ අතර ඔහුගේ බලාපොරොත්තුව ඉටු කරමින් 7 වැනි ඕවරය යැවූ ඉස් සෝඩි දෙවැනි පන්දුවෙන්ම කුසල් ජනිත්ගේ කඩුල්ල බිඳ දැමීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු ලකුණු පනහ පන්දු 50කදි වාර්තා වූ අතර ඕවර 10ක් නිමාවනවිට කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 69කි.

අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 68ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ඉදිරියට ඇදගෙන ගියේ පන්දු 77කින් ලකුණු සියය සම්පූර්ණ කරමිනි. එම සම්බන්ධතාව බිඳ දමනු ලැබුවේ 14 වැනි ඕවරය යැවීමට පැමිණි නායක සවුති විසිනි. මිචෙල් සැන්ට්නර් රැක ගත් විශිෂ්ට උඩපන්දුවකින් ඒ වනවිට පන්දු 25කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග ලකුණු 37ක් ලබා සිටි අවිශ්ක ප්‍රනාන්දුගේ ඉනිම නිමාවට පත්විය.

ස්කොට් කුගලෙජින් යැවූ ඊළඟ ඕවරයේ පළමු පන්දුවෙන්ම දසුන් ශානක ලකුණු නොලබා දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම දිස්වූයේ කඩුලු 4කට ලකුණු110ක් ලෙසිනි. ඉතිරි බලාපොරොත්තුව වූ නිරෝෂන් දික්වැල්ල රන්සි යැවූ 16 වැනි ඕවරයේදි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යද්දී පන්දු 30කදී ලකුණු 39ක් රැස් කර තිබුණේ හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගිනි.

අගපෙළ පිතිකරුවන් සමග එක්ව ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට ශෙහාන් ජයසූරිය දැඩි උත්සාහයක නිරතවූ අතර 19 වැනි ඕවරයේදි සවුතිගේ පන්දුවක් හමුවේ දැවී යනවිට පන්දු 13කින් ලකුණු 20ක් ලැබුවේ හතරේ පහර 2ක් සහ හයේ පහරක් ද සමගිනි.

රන්සි යැවූ ඉනිමේ අවසන් ඕවරයේ අවසන් පන්දු 2දීම කඩුලු 2ක් බිඳ වැටුණත් ශ්‍රී ලංකා පිලේ අගපෙළ පිතිකරුවෝ අවසන් ඕවර 5දී සිය කණ්ඩායමට ලකුණු 45ක් ලබාදීමට සමත්වූහ.

ඊයේ තරගයේදි දෙපිලේහිම එක් වෙනස්කමක් බැගින් සිදු කර තිබුණු අතර පළමු තරගයේදි නවසීලන්ත පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයකට ලක්වූ කසුන් රාජිත වෙනුවට ලක්ෂාන් සඳකැන් ද, ආබාධයකට ලක්වීමෙන් විවේක ගැනීමට සිදුවූ රොස් ටේලර් වෙනුවට ටොම් බෘස් ද ක්‍රීඩා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *