ඉකුත් වසරේ දී බිලියන 300කින් මාර්ග සංවර්ධනය කළා

(කොළඹ, ලංකාපුවත්) –ගෙවුණු වසරේ දී මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් බිලියන 300ක පමණ මාර්ග සංවර්ධන කටයුතු සිදු කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස නොවැම්බරයේ ද, දෙවැනි අදියර වන මීරිගම- කුරුණෑගල මාර්ගය මාර්තු මාසයේ ද විවෘත කරන බව ඒ මහතා අනාවරණය කළේය.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (5) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාර්ග සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුතු පිළිබඳ මාධ්‍ය හමුවේ දීය.

ඒ සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ සහ අග්‍රාමාත්‍ය උපදේශක නීතිඥ සුදර්ශන ගුනවර්ධන මහතා සහභාගී වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා,

කඩවත- මීරිගම දක්වා වන පළවැනි අදියර චීන එක්සිම් බැංකුවේ ණය මුදල් මත සිදු කරන අතර, රටකට ලබා දුන් වැඩිම ණය මුදල වන ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් (ඩොලර් මිලියන 968) ඒ සඳහා ලබා දී තිබෙනවා.දෙවැනි අදියර දේශීය කොන්ත්‍රාත්කරුවන් 16 දෙනකුට බෙදා දුන්නා. ‍එහි උපදේශක සමාගම් ලෙස විදෙස් සමාගම් තුනක් සමඟ යොදා ගත්තේ දේශීය සමාගම්. එය අවසන් කිරීමට නියමිතව තිබුණේ මේ වසරේ නොවැම්බර් මාසයේ දී වූවත් පසුගිය ඔක්තෝබර් සිදුවීම සහ පාස්කු ඉරිදා ප්‍රහාර හේතුවෙන් මාස පහක ප්‍රමාදයක් සිදු වුණා. කෙසේ වූවත් ලබන වසරේ මාර්තු මාසයේ දී ඒ කිලෝ මීටර් 40 විවෘත කළ හැකියි. ඒ සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් වැය කර තිබෙන්නේ වසර 4යි.

ඒ සමගම පොතුහැර සිට ගලගෙදර දක්වා වන තුන්වැනි අදියර ජපානයේ මිට්සුයි බැංකුවෙන් මුදල් ලබා ගැනීම සඳහා රටට අවාසිදායක කොන්දේසිවලින් තොරව එය සිදු කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනවා.

ඒ සමගම කැලණි පාලමේ ඉදිකිරීම් 2020 අගෝස්තුවේ දී අවසන් කරනවා. ආසියානු සංවර්ධන බැංකුවේ ණය අරමුදලකින් ආරම්භ කරන වරාය පිවිසුම් මාර්ගයේ සියලු මූලික කටයුතු මේ වන විට අවසන්. වරාය නගරයේ සිට මරීන් ඩ්‍රයිව් දක්වා එම මාර්ගය සම්බන්ධ කෙරෙනවා. එය සිදු වන්නේ ගෝල් ෆේස් ග්‍රීන්වල තිබෙන සුන්දරත්වය ඒ අයුරින්ම පවතින අයුරින් මුහුද පැත්තෙන් උමං මාර්ගයක් ලෙසයි.

iroad වැඩසටහන යටතේ ආයෝජන වැඩසටහන් ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරෙනවා.

එම අදියර දෙක යටතේ ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සියලූ පළාත්වලින් තෝරාගත් ජාතික මාර්ග සහ ග්‍රාමීය මාර්ග 2,187 ක මාර්ග කිලෝමීටර් 7,180 ක් කාපට් අතුරා සංවර්ධනය කරන අතර, එම මාර්ග සංවර්ධනය කර වසර 3-5 අතර කාලසීමාවක නඩත්තු කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

පළාත්සභා සහ පළාත් පාලන ආයතනවලට අයත් මෙම මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරිය උපදේශන සමාගම්වල පූර්ණ අධීක‍ෂණය යටතේ නිසි ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *