පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයන්ගේ බිලියන 6ක වත්කම් තහනම් කරන්න විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ගේ රුපියල් බිලියන 6ක දේපොළ සහ වත්කම් තහනම් කිරීමට අදාළ විමර්ශන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරමින් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එසේ තහනම් කිරීමට සූදානම් ත්‍රස්තයන්ගේ දේපොළ අතර ඉඩම් , ගොඩනැගිලි, වාහන සහ වෙනත් චංචල දේපොල ඇතැයි ද ඔහු පැවැසීය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් 41 දෙනෙකුගේ බැංකු ගිණුම් 100ක ක්‍රියාකාරීත්වය මේ වන විට තහනම්කර ඇති බවත්, එම ගිණුම්වල රුපියල් මිලියන 134ක මුදලක් තිබෙන බවත්, රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. ඊට අමතරව එම සැකකරුවන් සතුව තිබී රුපියල් මිලියන 20ක මුදලක් ද සොයාගෙන ඇතැයි ඔහු පැවැසීය. එම මුදල් මේ වන විට ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන්ට අදාළව ජංගම දුරකතන 2919ක් සහ සිම්පත් 169ක් සියුම් විශ්ලේෂණයට ලක්කරමින් වැදගත් දත්ත පවා සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇතැයි ද රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඒ අනුව පාස්කු ප්‍රහාරයටත් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ආධාර හා අනුබලදීම්වලටත්, තහනම් සංවිධානවල සාමාජිකයන් වෙමින් පුහුණු කඳවුරුවලට සම්බන්ධ වීම්වලටත් සැකපිට මේ වන විට 293දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එම සැකකරුවන්ගෙන් 115ක් අධිකරණවෙත ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් 178ක් රැඳවුම් නියෝගමත රඳවාගෙන පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවත් ඔහු පැවැසීය.

එම සැකකරුවන්ගෙන් 62ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුභාරයේත්, 47 දෙනෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේත්, 41ක් කොළඹ අපරාධ කොට්ඨාස භාරයේත්, 16ක් අම්පාර පොලිස් කොට්ඨාසය භාරයේත්, 4ක් ගල්කිස්ස පොලිස් කොට්ඨාශ භාරයේත්, තවත් 4ක් කොළඹ දකුණ පොලිස් කොට්ඨාසය භාරයෙත්, 3ක් නුගේගොඩ පොලිස් කොට්ඨාස භාරයේත්, එක් අයෙක් මහනුවර පොලිස් කොට්ඨාසභාරයෙත් රඳවා සිටින බව රුවන් ගුණසේකර මහතා පැවැසීය.

කල්මුණේ සියාම් නැමැති සහරාන්ගේ අම්පාර නායකයාගේ තොරතුරු මත කලපුවට විසිකර තිබිය දී සොයා ගත් සහරාන්ගේ පුද්ගලික ලැප්ටොප් එක මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇතැයි ද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. එම ලැප්ටොප් පරිගණකයෙන් වැදගත් තොරතුරු රැසක් ද අනාවරණය වෙමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

රුවන් ගුණසේකර මහතා මෙම අදහස් පළ කළේ පොලිස් මූලස්ථානයේ ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවක දීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *