වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත‍්‍රිවරයෙකුට මත්පැන් බලපත‍්‍ර නිකුත් කර නැහැ

(කොළඹ, ලංකාපුවත්) – වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රිවරයෙකු වෙත මත්පැන් බලපත්‍ර නිකුත් කර නොමැතිබව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභී සුරාසල් 4910ක් තිබෙන අතර ඉන් වෙළෙදසල් 1100ක් සිල්ලර අලෙවිය සදහා ක්‍රියාත්මකය. හෝටල් මත්පැන් බලපත්‍ර 1567ක් සහ ආපන ශාලා බලපත්‍ර 554ක් ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

සුරාසැල් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිසි කොන්දේසි හා නීතිරීති අනුව බලපත්‍ර ලබා ගත හැකි බවද මුදල් අමාත්‍යාංශය පවසයි. එවැනි බලපත්‍රයක් ලබා ගන්නේ නම් පසුගිය වසර 5 ඇතුළත කිසිදු අපරාධයකට සම්බන්ධව වරදකරුවෙකු නොවී සිටිය යුතු අතර බදු ගෙවන්නෙකු ද විය යුතුය.

සුරාසල් වර්ගය අනුව ඒවා පූජනීය ස්ථාන සහ පාසල්වලින් බැහැර නියමිත දුර ප්‍රමාණයෙන් පිහිටුවීම ද සිදුකළ යුතු බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි. බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ගේ ලේඛණය මහජනතාවට දැකගත හැකිවන පරිදී සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළකර ඇති බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *