ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ කැකිරාව මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති උතුරු මැද පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දැනුමෙන් සහ වෙනස්වන ලෝකයට ගැළපෙන නිර්මාණාත්මක කුසලතාවලින් පරිපූර්ණ අනාගත පරපුරක් බිහි කිරීම මෙන්ම නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන, දරුවන්ගේ අධ්‍යාත්මික ගුණවගාවන් ද පෝෂණය කරමින් යහපත් පරපුරක් ගොඩනැඟීමට අද දවසේ ගුරුවරයා වෙත පැවරී ඇති වගකීම අතිමහත් බවයි.

උතුරු මැද පළාතේ ගුරු පුරප්පාඩු පියවමින් සිංහල මාධ්‍ය ගුරුවරුන් 428ක්, දෙමළ මාධ්‍ය ගුරුවරුන් 100ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 11 දෙනෙකු ඇතුළු උපාධිධාරි ගුරුවරුන් 538 දෙනෙකු වෙනුවෙන් ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහි දී සිදු වූ අතර සංකේතාත්මක ව ජනාධිපතිතුමා අතින් කිහිප දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්විණි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, චන්දිම ගමගේ යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් රැසක් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *