විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත විදුලිබලයෙන් සහනයක්

(කොළඹ, ලංකාපුවත්) – විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත නව විදුලි සබදතා ලබාදීමේදී විශේෂ ප්‍රමුඛත්වයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සදහන් කරයි.

“අපේ රටේ ජිවත්වන විශේෂ අවස්ථා ඇති පුද්ගලයින්ගේ ඉල්ලීම් සහ ඔවුන් මුහුණපාන දුෂ්කරතා සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. ඒ වෙනුවෙන් අදාළ අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කර හැකි උපරිමයෙන් මෙම පුද්ගලයන් සදහා සහන සැලසීමට බලාපොරෝතතු වෙනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් නිවැරදි ලෙස හදුනාගනිමින්, සමාජසේවා අමාත්‍යාංශයේ හෝ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සංගමයේ අනුමැතිය ලබාගැනීමෙන් පසු, විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදෙමින් නව විදුලි සබදතා ලබාදීම, ඔවුන්ගේ විදුලි බිල්පත් වෙනුවෙන්වන ගෙවීම් ලබාගැනීම සදහා පහසු ක්‍රමවේදයක් සකසා දීම වැනි ක්‍රියාමාර්ගයන් තුළින් සහන සැලසීමට අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙනවා ” බව ද ඇමතිවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සංගමයේ නිලධාරීන් සමග පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ලක්ෂ 16 ක් පමණ මේ රටේ සිටින විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පොදුවේ බලපා ඇති විවිධ බාධාවන් සහ දුෂ්කරතා සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්විණි. මෙම පුද්ගලයින්ට ආදායම් උත්පාදන මාර්ග, රැකියා අවස්ථාවන් මෙන්ම අධ්‍යාපන අවස්ථාවන්ද බොහෝවිට මගහැරෙන අතරම, සමාජයෙන්ද කොන්වී සිටීමට සිදුවී ඇති බව මෙම සාකච්ඡාවේදී කරුණු අනාවරණය විය. මීට අමතරව මෙම විශේෂ අවස්ථාවන් සහිත පුද්ගලයින් වෙත විදුලිබල අමාත්‍යාංශය හරහා සිදුවන සේවාවන් සම්බන්ධයෙන් විශේෂයෙන් සලකා බැලියයුතු කරුණු පිළිබදවද අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විනි.

මෙම කරුණු පිළිබදව සිය විශේෂ අවධානය යොමුකළ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්, මොවුන් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත්කර ඔවුන්ගේ අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගතහැකි වන පරිදි පනත් සම්මත කර දීමට කටයුතු කරන බවත්, සංඥා භාෂා පනත, බිහිරි පුද්ගලයින් වෙත රියදුරු බලපත් ලබාදීම ආදි කටයුතු රාශියක් සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කර මෙම පුද්ගලයන් වෙත සහන සලසාදීමට හැකි ඉක්මණින් කටයුතු කරන බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *