දිස්ත්‍රික් 03ක ස්ථානවලට නායයෑම් අනතුරු ඇගවීමක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරේ.

දිවයිනේ සෙසු පළාත්වල සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් එහිදී ඇති විය හැකි බවද පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළන් ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් පෙන්වා දෙයි.

මේ අතර කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට නායයෑම් අනතුරු ඇඟවීම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

එසේම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරකට මෙලෙස අනතුරු අඟවා ඇති බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඇහැළියගොඩ, අඹගමුව, බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොල සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *