පළිබෝධනාශක තහනම් කර සියදිවි නසාගැනීමට වැට බැඳි හොඳම රට ශ්‍රී ලංකාවයි

(කොළඹ, ලංකාපුවත්) –සියදිවි නසාගැනීමේ අනුපාතය අඩු කිරීමට හේතු වන උපක්‍රමයක් වශයෙන් අධික අනතුරුදායක පළිබෝධනාශක භාවිතය තහනම් කරමින් රෙගුලාසි පැනවීමේ අදහස මෑත කාලයේ හොඳින්ම ක්‍රියාත්මක කළ රට වන්නේ ශ්‍රී ලංකාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එසේ තහනම් කරන ලද පළිබනාශක හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් සියයට 70කින් පහළ වැටී ඇති බවත් එමගින් 1995- 2015 දක්වා ජීවිත 93,000ක් බේරාගෙන ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවකින් ප්‍රකාශ කර ඇත.

සියදිවි නසාගැනීම් පිළිබඳ පළමු ගෝලීය වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව වසර පහක් තුළදී සියදිවි නසාගැනීම් වැළැක්වීමේ උපායමාර්ග ක්‍රියාත්මක කරන රටවල් සංඛ්‍යාව ඉහළ ගොස් තිබුණද මේ වන විටද සෑම තත්පර 40කට වරක් එක් පුද්ගලයකු සියදිවි නසාගැනීමෙන් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් පෙන්වා දෙයි. ලොව පුරා සියදිවි නසාගැනීම්වලින් සියයට 79ක් සිදු වී ඇත්තේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල බවත් ඉහළ ආදායම් ලබන රටවල එම අනුපාතය 100,000ට 11.5ක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

සියදිවි නසාගැනීමට ප්‍රවේශ වීම සීමා කිරීම සාර්ථක වී ඇති බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය සියදිවි නසාගැනීම් පිළිබඳ වගකිවයුතු වාර්තා කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම, ආතතිය සමඟ සාර්ථකව කටයුතු කිරීමට හැකි වන පරිදි ජීවන කුසලතා ගොඩනැඟීම සඳහා යෞවනයන් අතර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සියදිවි නසාගැනීමේ අවදානමක් ඇති පුද්ගලයන් කල්තියා හඳුනා ගැනීම, කළමනාකරණය කිරීම හා පසුවිපරම් කිරීම කළ යුතු බවද පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *