නව ආයෝජන ඇති කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ නව ආයෝජන ඇති කිරීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කර ඇති බවත් ඉදිරි වසර 05 ක කාලය තුළ නව රැකියා ආදායම් මාර්ග බිහි කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බාහිර උපාධිධාරීන් 4200ක් සදහා අභ්‍යාසලාභී පුහුණු නිලධාරී පත්වීම් ලිපි ප්‍රදානයට අද (18) එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය. අරලියගහ මන්දිරයේ දී එය සිදු කෙරිණි.

2015 වත්මන් ආණ්ඩුව රට භාර ගන්නා විට අභියෝග ගණනාවකට මුහුණපෑමට සිදුවූ බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ක්‍රමානුකූලව එම අභියෝග ජයගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ගමන ඇරඹීමට හැකිවූ බවත් එය පදනම් කර ගනිමින් රැකියා අපේක්ෂිකත සියලූ දෙනාටම නව රැකියා ලබාදීමට පියවර ගන්නා බවත් පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, අභ්‍යන්තර, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අලි සාහිර් මවුලානා සෙයිඩ් යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින්, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥාණසෝති මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *