වැස්සෙන් ලක්ෂයක් පීඩාවට

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 29,701කට අයත් පුද්ගලයන් 116,083 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (26) නිවේදනය කළේය.

වර්ෂාව මේ වන විට අඩු වුවත් දිස්ත්‍රික්ක 9ක ආපදා තත්ත්වයක් උද්ගත වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. පසුගිය දින කිහිපයේ දිවයිනට ලැබුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් කළුතර, කෑගල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම ප්‍රදේශ සඳහා පූර්ව අනතුරු ඇගවීම් නිවේදනද නිකුත් කර තිබේ.

එසේම අධික වර්ෂාව හේතුවෙන් ගිංගඟ, නිල්වලා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම මේ වන විටත් ඉහළයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් මේ වනවිට මරණ 2ක් වාර්තා වී තිබේ. ඊට අමතරව තවත් පුද්ගලයන් 6 දෙනෙක් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එසේම මේ වන විට සබරගමු පළාතේ පවුල් 19කට අයත් පුද්ගලයින් 77දෙනෙක්, මධ්‍යම පළාතේ පවුල් 02කට අයත් පුද්ගලයන් 11ක්, දකුණු පළාතේ පවුල් 7,409කට අයත් පුද්ගලයන් 27,657ක්, බස්නාහිර පළාතේ පවුල් 22,247කට අයත් පුද්ගලයන් 88,258ක් සහ වයඹ පළාතේ පවුල් 24කට අයත් පුද්ගලයන් 80ක් මෙලෙස පීඩාවට පත්ව තිබේ. ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානි 39ක් සහ අර්ධ හානි 1,140ක් වාර්තා වන අතර පවුල් 10,181කට අයත් පුද්ගලයින් 42,351දෙනකු ආරක්ෂිත ස්ථාන 75ක වන විට රඳවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *