ලෝක ළමා දිනයේ දී ජනපතිගෙන් දරුවන් වෙනුවෙන් නව අරමුදලක්

(කොළඹ, ලංකාපුවත්) – විවිධ හේතුන් නිසා අසරණ වී සිටින දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් “දරුවන් සුරකිමු – ජාතික භාර අරමුදල” ස්ථාපනය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජාතියේ වටිනා ම සම්පත රටේ දූ දරුවන් ය. ඔවුහු රටක අනාගතය නියෝජනය කරන, රටක නායකත්වය භාර ගැනීමට සිටින හා රටක සංවර්ධනය මෙහෙයවන පිරිස වෙති. එහෙයින් සැම රටකම දරුවන් වෙනුවෙන් සුවිශේෂී ආයෝජනයක් සිදුකරනු ලබයි. එහෙත් සෑම සමාජයකම විවිධ හේතුන් මත ලැබිය යුතු වරප්‍රසාද අහිමි වූ දරුවන් රැසක් දැක ගත හැක. එවැනි දරුවන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම හුදෙක්ම රජයක පමණක් වගකීම නොවන අතර, සංවේදී සියලු පුරවැසියන්ගේ ද යුතුකමක් හා වගකීමක් වනු ඇත.

ඒ අනුව විවිධ පරිත්‍යාගශීලි පුද්ගලයන්ට සහ සංවිධාන වෙත තම පරිත්‍යාගයන් වගකීමෙන් හා නෛතිකව පිළිගත හැකි අයුරින් ලබා දිය හැකි ව්‍යුහයක් ඇතිකිරීමේ කාලීන අවශ්‍යතාවය ඉටුකරමින් “දරුවන් සුරකිමු – ජාතික භාර අරමුදල” පිහිටුවා තිබේ.

විවිධ ප්‍රභවයන්ගෙන් හඳුනාගනු ලබන අතිශය දරිද්‍රතාවයෙන් යුත් පවුල්වල දරුවන් හට ආධාර කිරීම, දෙමාපිය රැකවරණය හා සුරක්ෂිතභාවය අහිමි දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා පිහිටවීම, නිවුන් දරුවන් හෝ ඊට වැඩි දරුවන් ප්‍රමාණයක් එකවර බිහිකිරීම හේතුවෙන් ඔවුන් රැක බලා ගැනිමට ඇති ආර්ථික දුෂ්කරතාවයන්ට උපකාරී වීම, දෙමාපියන් විසින් දරුවන් අතහරිනු ලැබීම හේතුවෙන් අසරණභාවයට පත් දරුවන්ගේ සුබසාධනයට උපකාරී වීම, උපතින් ම හෝ වෙනත් හේතුන් මත ශාරිරික දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා ආධාර දීම මෙම අරමුදල මඟින් සිදු කෙරෙනු ඇත.

එමෙන්ම විවිධ සුවිශේෂී දක්ෂතාවයන්ගෙන් හෙබි එහෙත් දරිද්‍රතාවය හේතුවෙන් ඉදිරියට යාමට හෝ එම දක්ෂතාවයන් ඔප්නංවා ගැනීමට අපහසුතා ඇති දරුවන්ට හට උපකාර කිරීම, නව නිපැයුම්, අත්හදා බැලීම්, පර්යේෂණ හා නව සොයා ගැනීම් සිදු කරනු ලබන සහ සුවිශේෂී ක්‍රීඩා කෞශල්‍යයන් සහිත හා සුවිශේෂී අධ්‍යාපනික දක්ෂතා සහිත දරුවන් උපකාර කිරීම මේ මඟින් සිදුකිරීමට අපේක්ෂිතය.

“දරුවන් සුරකිමු – ජාතික භාර අරමුදල” සඳහා ජනාධිපති කාර්යාලය ප්‍රමුඛ රාජ්‍ය ආයතන සහ ත්‍රිවිධ හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු ආයතන විසින් සිදු කරන ලද මුදල් පරිත්‍යාග ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදීම ද මෙහි දී සිදු කෙරිණි.

මේ අතර ලෝක ළමා දිනය යෙදී ඇති අද දින ජනාධිපතිතුමා සිය රාජකාරී ආරම්භ කළේ දරුවන් වෙනුවෙන් තවත් සුවිශේෂ කර්තව්‍යයක් ඉටු කරමිනි.

තුන් නිවුන් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් පවතින ආර්ථික දුෂ්කරතා සඳහා සහනයක් ලෙස පවුල් 03ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් පරිත්‍යාග පිරිනැමීම ඒ අනුව අද (01) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *