ඉස්සන් ආනයනයට කොන්දේසි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදී ඉස්සන් ආනයනය කිරීමේදී මෙරට ඉස්සන් අස්වැන්න පිළිබඳව ද සොයා බලා ආනයනයට කටයුතු කල යුතු බව කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා, ඉස්සන් වගා කිරීමේ සංගමය සමඟ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

ඇතැම් ව්‍යාපාරිකයන් විසින් දේශීය ඉස්සන් අස්වැන්නද නොතකමින් ඉස්සන් ආනයනය කිරීමෙන් දේශීය ඉස්සන් වගාකරුවන් අපහසුතාවයට පත්ව ඇති බව අමාත්‍යවරයා මෙහිදී කීය. ඒ අනුව ඉස්සන් ආනයනය කිරීමේදී සැළකිලිමත් විය යුතු බවත් ඒ වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මේවෙනුවෙන් තීරණයකට එලබීම සඳහා කමිටුවක්ද පත් කෙරිණි.

එලෙසම මන්නාරම් දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත“ වැනමී” ඉස්සන් ප්‍රභේදය වගා කිරීම මඟින් අක්කරයක ඉස්සන් කොටුවකින් ටොන් 16ක ප්‍රමාණයක අස්වැන්නක් ලැබෙන බවත් එම ඉස්සන් අපනයනය මඟින් ඉතා හොඳ ලාභයක්ද උපයාගත හැකි බව ඉස්සන් වගාකරුවන් මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කය තුළ හඳුනාගත් ගොවිපළ 13ක “ වැනමී” ඉස්සන් ආදර්ශන පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතුද සකසන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ වන විට ලංකාව පුරා ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය 45ක් පවත්වාගෙන යන බවත් ඉස්සන් වගාවේදී පවතින වෛරස් රෝගී තතත්වයන් නිවාරණය උදෙසා ඉදිරියේදී විද්‍යාගාර පහසුකම්ද ලබා දීමට තම අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ වන විට ඉස්සන් මව් සතුන් ආනයනයේදී පවතින බද්ද අවම කිරීමට සහන සළසා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *