ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පඩි මේ මාසයේ සිට දෙගුණයකින් වැඩි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ තරගවලට සහභාගීවන සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දීමනා මේ මාසයේ සිට දෙගුණයකින් වැඩි කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරයි. ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කිරීමට නම් දේශීය ක්‍රිකට් තරගවලට එක්ව සිටින ක්‍රීඩකයන් දිරිමත් කොට ආරක්ෂා කළ යුතු බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තීරණය ගෙන ඇතැයි ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කරච්චි නුවරදී මාධ්‍යවේදීන්ට පැවැසීය.

ශ්‍රී ලංකාවේ අන්තර් ක්‍රීඩා සමාජ තරගවලට සහභාගීවන ක්‍රීඩකයන්ට නිසි ගෙවීම් ක්‍රමවේදයක් නොමැති නිසා එම දක්ෂ ක්‍රීඩකයන් එංගලන්තය හා ඔස්ට්‍රේලියාව වැනි රටවලට යෑම මෙමගින් නවතාලීමට හැකිවනු ඇතැයි විශ්වාසයවී තිබේ.

එමෙන්ම හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පසුගිය කාලයේ නොකළ වැඩ සම්බන්ධව කරුණු දක්වා නීතීඥයන් මගින් ඔහු වෙත ලිපියක් යවා ඇතැයි ඇමැතිවරයා පැවැසීය.

“අලුත් පුහුණුකරුවෙක් ගෙන්වා ගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටිනවා. පුහුණුකරු ක්‍රීඩකයන්ට බැට් බෝල අල්ලන හැටි කියා දිය යුතු නෑ. පුහුණුකරු කළ යුත්තේ ක්‍රීඩකයන් සමග එක්ව ජයග්‍රහණයට අවශ්‍ය විධිමත් සැලසුම් සකස් කිරීමයි. ක්‍රීඩකයන් ඉතාම සැහැල්ලුවෙන් සිටින බව දැන් අපට කියනවා. මේ වාතාවරණයට ඔවුන් කැමැතියි. හතුරුසිංහ මහතා ගැන තීරණ ගැනීම ක්‍රිකට් ආයතනයට භාරයි” ඇමැතිවරයා පැවැසීය.

කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දෙවැනි එක්දින තරගය පැවැත්වෙන අතරතුර ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු, පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒෂාන් මානී, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා හා ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වුනි. එහිදී පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒෂාන් මානී මහතා පැවැසූවේ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගැනීමට ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගය සම්බන්ධව සිය ස්තූතිය පුදකර සිටින බවයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයට පැමැණීමෙන් ලෝකයේ අනෙකුත් රටවලට විශාල පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඉදිරි සති කිහිපයේදී එංගලන්ත, ඔස්ට්‍රේලියා හා අයර්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරු පාකිස්තානයට පැමිණ ආරක්ෂාව පිළිබද කරුනු සමාලෝචනයට කැමැත්ත පළ කළා. ඔවුන් ඉදිරියේදී පාකිස්තානයේ ක්‍රීඩා කරයි. ටෙස්ට් ශූරතාවලියක් සඳහා ශ්‍රී ලංකා පිල පාකිස්තානයේ සංචාරය කිරීමට ඔවුන්ගේ ඉහළම ක්‍රීඩකයන් සමඟ කතා කිරීමට අවශ්‍යයි. ශ්‍රී ලංකාව අපට ලබාදිය හැකි ඉහළම සහයෝගය ඉදිරියේදීත් ලබාදෙන බව විශ්වාසයි” මානී මහතා පැවැසීය. ක්‍රිකට් තරග සඳහා පාකිසම්තානයට පැමිණෙන කිසිදු ක්‍රීඩකයකුට අමතර දීමනා ගෙවීමේ එකඟතාවක් නැතැයි ද මාධ්‍යවේදීන් හමුවේ පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා අවධාරණය කළේය.

පාකිස්තානයේදී විස්සයි 20 තරග තුනකට පමණක් ක්‍රීඩා කිරීමට මුලින් කටයුතු කර තිබුණද ක්‍රීඩා ඇමැතිවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව එක්දින තරග තුනකට ද සහභාගීවීමට එකඟ වූ බව ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පැවැසීය. “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියයට 200 ක සහයෝගය පාකිස්තානයට ලබා දෙනවා. මෙහි ඇති ආරක්ෂාව කෙතරම්ද කිව්වොත් මටත් හෝටලයෙන් පිටතට යා නොහැකියි. මෙහි ඇති ආරක්ෂාව හා සත්කාරකත්වය පිළිබඳ අපේ ක්‍රීඩකයන් අනෙක් ක්‍රීඩකයන්ට පවසයි. අපේ පළපුරුදු ක්‍රීඩකයින් පාකිස්තානයට එන්න කැමැත් වුනොත් ටෙස්ට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමේ බාධාවක් නෑ.” ෂම්මි සිල්වා පැවසීය.

“මා මවිතයට පත්කළේ ලබාදී ඇති ආරක්ෂාව හා ක්‍රීඩකයන් රැකබලාගත් ආකාරය අනුවයි. ක්‍රීඩාංගණයට එන සෑම දෙනාගේම ඇස්වලින් ඔවුන් වෙන වෙනම හඳුනාගත හැකි කැමරා පද්ධතිය දුටුවාම මා පුදුම වුණා. ලෝකයේ ඕනෑම තැනක යම් යම් සිදුවීම් විය හැකියි. ඒත් ක්‍රීඩාව නතර නොවිය යුතුය. අනෙක් රටවල් ද ඔවුන්ගේ ක්‍රීඩකයන් මේ සංචාරයෙන් පසු පාකිස්තානයට එවනු ඇතැයි මා විශ්වාස කරනවා” හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

“2009 ලාහෝර් ප්‍රහාරයෙන් පසු තවමත් ඇතැම් ක්‍රීඩකයන් තැති ගැන්මෙන් ඉන්නවා. ඔවුන්ගේ පවුල්වල අයත් බිය පළ කරනවා. ඒ නිසයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොපැමිණියේ. එම ක්‍රීඩකයන්ගේ පෞද්ගලික තීරණවලට අප ගරු කළ යුතුයි”

“ක්‍රිකට් යනු විශ්ව ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. එහි තරඟකාරිත්වය පමණක් නොව අසල්වැසි ජාතීන් අතර සහයෝගීතාව ගොඩනැගීමටත් හැකි බව විශ්වාසයි” යනුවෙන් ඇමැතිවරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *