නව කැළණි පාලම ව්‍යාපෘතිය ලබන වසරේ නිමයි

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් කෝටි 5500 ක් ආයෝජනය කළ නව කැළණි පාලම ව්‍යාපෘතිය 2020 වසරේ දී අවසන් වන බවත් ඒ සමගම කොළඹ නගරයේ වාහන තදබදය අවම වන බවත් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

වසර තුනක් තුළ මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් අවසන් කිරීමට හැකි වීම ශ්‍රී ලාංකිකයන් ලැබූ ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය කබීර් හෂීම් මහතා මෙසේ පැවසුවේ පසුගියදා (08) කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා සම්බන්ධ කෙරෙන එම නව කැළණි පාලම් සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවය.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින අධික රථවාහන තදබදය අවම කිරීම අරමුණු කරගෙන, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ නව කැළණි පාලම ව්‍යාපෘතිය සිදුකෙරේ.

නව තාක්ෂණය යොදා ගනිමින් ඉදි කෙරෙන නව පාලමේ දිග මීටර් 380කි. පළල මීටර් 27.5කි. මංතීරු 6කින් යුතු පාලමේ ඉදිකිරීම් SMCC SANKEN JV සමාගම විසින් සිදුකරයි. මේ සඳහා මූල්‍ය දායකත්ව ජපන් අන්තර්ජාතික සහයෝගීතා ආයතනය විසින් සිදු කරයි.

මෙම අවස්ථාවට සමගාමීව ජපාන චාරිත්‍රවලට අනුකූලව සංවිධානය කෙරුණු සාම්ප්‍රදායානුකූල ආරක්ෂක ආගමික වැඩසටහනක්ද අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

මෙහිදී අදහස් වැඩිදුරටත් දැක්වූ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා,

” මෙම ව්‍යාපෘතිය ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක්. 2017 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේදී රජයක් විදියට අපි මානුෂිකත්වයට මුල්තැන දෙමින් ඉඩම් සහ නිවාස අහිමි වන පවුල් 400කට පමණ විකල්ප නිවාස ලබාදීමට කටයුතු කලා. එසේම මෙම ව්‍යාපෘතිය නිසා ගොඩනැගිලි අහිමි වන රාජ්‍ය ආයතන වලටත් අපි විකල්ප ගොඩනැගිලි සාදාදෙනු ලැබුවා. එම වැඩ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව තමයි අපි මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවේ. මෙම ව්‍යාපෘතිය සඳහා රු.කෝටි 5500 ක මුදලක් ආයෝජනය කරනු ලැබුවා. ඒ වෙනුවෙන් ජයිකා සමාගමට මෙන්ම ජපාන රජයටත් මාගේ හෘදයාංගම ස්තූතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පුදකර සිටිනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් සහාය ලබා දෙනවා. වසර 2020 දී මෙම ව්‍යාපෘතිය අවසන් වන විට කොළඹ නගරයේ වාහන තදබදය අවම වෙනවා. එම නිසා නව කැළණි පාලමේ සිට කොළඹ නඟරය සඳහා විනාඩි 10 වැනි කාලයකින් ළඟාවීමට හැකියාව ඇති වෙනවා. වාහන තදබදය අවම වීම නිසා වායු දූෂණය, ඉන්ධන දහනය අවම වීම වැනි පරිසර හිතකාමී බව වර්ධනය වෙනවා. වසර 2017 ආරම්භ කල මෙම ව්‍යාපෘතිය 2020 දී අවසන් කිරීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප ලැබූ ජයග්‍රහණයක්” යනුවෙන් ද පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි, අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර යන මහත්වරුන් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා දර්ශිකා ජයසේකර මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *