මෙතෙක් බිහිවූ සුපිරිසුදුම ආණ්ඩුව පිහිටුවනවා – ජනාධිපති අපේක්‍ෂක සජිත්

(කොළඹ, ලංකාපුවත්) – මෙතෙක් බිහි වූ සුපිරිසුදුම ආණ්ඩුව පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (10) කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැති ජන රැලිය අමතමිනි.

පවුල්වාදය, අන්තවාදය, ගෝත්‍රික වාදය, මිලිටරිවාදය කර පින්නාගත් නායකත්වයක් ශ්‍රී ලංකාවට සුදුසු නොවන බව කී ඇමැතිවරයා ලෝකයේ නොම්බර එකේ රට බවට ශ්‍රී ලංකාව පත්කරන බවද ප්‍රකාශ කළේය.

වලව් තුළ සිට පවුලක් ක්‍රියාත්මක කරන න්‍යාය පත්‍රයකට රටේ අනාගතය පිළිබඳව තීන්දු තීරණ ගැනිමට ඉඩ දිය නොහැකි යයිද කී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා රට තුළ මෙතෙක් සිදු නොවූ ආකාරයේ මහා සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීමට ඇප කැප වෙන බවද පැවසීය.

පොදු ජනතාව දේශපාලනඥයන් තනතුරුවලට පත් කරන්නේ ජනතා ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිමට බවද කී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා රටේ තරුණ පරපුරට යහපත් අනාගතයක් උදාකර දීමේදී කාර්යයේදී එම පරපුරේද සුවච කීකරු සේවකයා වීමට සූදානම් බව මෙහි දී ප්‍රකාශ කළේය.

ඉදිරියේ දී තරුණ ප්‍රඥප්තියක්, කාන්තා ප්‍රඥප්තියක්, ධීවර ප්‍රඥප්තියක්, ගොවි ප්‍රඥප්තියක්, කම්කරු ජනතාව වෙනුවෙන් ප්‍රඥප්තියක් නිර්මාණය කරන බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කළ ඇමැතිවරයා විරැකියාවෙන් පෙළෙන තරුණ පරපුර වෙනුවෙන් ප්‍රාදේශීය කොට්ඨාස මට්ටමින් කර්මාන්ත පුර නිර්මාණය කරන බවද කීය.

තමා සෑම මැතිවරණ මැතිවරණ කොට්ඨාසයකටම ඉදිරියේ දී ගමන් කරන බව පැවසූ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එහිදී පක්ෂ බේදයෙන් තොරව තමන්ගේ කතාවට සවන් දෙන ලෙසද අමැතිවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය. කුල, මල, ජාති ආගම් බේදයෙන් තොරව පුද්ගලිකය ජනතාවට කෙලෙහිගුණ දක්වන බවද ඇමැතිවරයා මෙහිදී කීය.

තමන්ගේ අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිය පළ කළ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා තමාගෙන් වචනයක් සම්බන්ධයෙන් සිදුවූ වැරද්දකට මහා සංඝරත්නයෙන් ජනතාවගෙන් මෙහිදී සමාව අයැද සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *