ශ්‍රී ලංකාවට ඝණ අපද්‍රව්‍ය විදුලි බලාගාරයක් හඳුන්වාදීමට ඉතාලි රජයේ සහාය

(කොළඹ, ලංකාපුවත්) –මේ වනවිට ශ්‍රී ලංකාවට ගැටළුවක්ව පවතින ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට තම රටේ තාක්ෂණික සහාය මෙන්ම ආයෝජන අවස්ථා සලසා දීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකවේ ඉතාලි තානාපතිනී Rita G. Mannella මහත්මිය පවසයි.

පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී විෂයබාර අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී නිල සාකච්ඡාවකට සහභාගි වෙමින් තානාපතිවරිය මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින විදුලියනය තත්ත්වය පිළිබදව සිය ප්‍රසාදය පළකළ ඉතාලි තානාපතිවරිය, සීඝ්‍රයෙන් වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීමේ ගැටළුවට ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුණදිය හැකි අතර ඒ වෙනුවෙන් පෙර සූදානමක් ඇතිකරගත යුතු බවත්, ඊට කදිම විසදුමක් වශයෙන් මෙසේ ඉවතලන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය හදුන්වාදිය හැකි බවත් පැවසීය.

අපද්‍රව්‍ය ටොන් 100 ත් 300 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කිරීමේ හැකියාව ඇති ඉවතලන අපද්‍රව්‍ය බලාගාරයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව අමාත්‍යවරයා සහ තානාපතිවරිය අතර සාකච්ඡා පැවති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වන ඉදිරි පියවරයන් ගැනීමට තම රටේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමටද තානාපතිවරිය සිය එකඟත්වය පළකර ඇත.

ශ්‍රී ලංකාව තුළ පවතින මිල අවම විදුලි උත්පාදන මුලාශ්‍රය වන ජල මුලාශ්‍රය, මේ වනවිට විදුලි උත්පාදනය සදහා උපරිමයෙන් යොදාගෙන ඇති බවත්, ඉදිරි විදුලි ඉල්ලුම් සපුරාලීම පිණිස මෙවැනි මිල අවම, පරිසර හිතකාමි විදුලි උත්පාදන ක්‍රමවේදයක් වෙත අවධානය යොමුකිරීම සම්බන්ධයෙන් ඉතාලි තානාපතිවරිය වෙත සිය කෘතඥතාවය පළකළ අමාත්‍ය කරුණානායක මහතා, ශ්‍රී ලංකාව තුළ මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට ඉතාලි රජයේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරන බවද පැවසීය. එසේම දීර්ඝකාලීනව පැවතගෙන එන ඉතාලි ශ්‍රී ලංකා මිත්‍ර සබදතා සහ ද්වීපාර්ශවීය සහයෝගීතාවය මේ තුළින් තවතවත් තහවුරු වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *