ELUTHARAKAI මගී ප්‍රවාහන නෞකාව කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පවරා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – යාපනය, කයිට්ස් සිට එළුවතිවු සහ අනලතිවු දූපත් සදහා මගී ප්‍රවාහනය සදහා Elutharakai මගී ප්‍රවාහන නෞකාව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් පවරා දීම ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් විසින් ඊයේ(13) දින සිදු කරනු ලැබීය.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 137 ක මුදලක් මෙම මගී ප්‍රවාහන නෞකාව සදහා ආයෝජනය කර ඇත. ඩොක්යාඩ් සාමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම මගී නෞකාව තුළ මගීන් 100 කට පහසුවෙන් ගමන් කළ හැකි අතර වායු සමනය කර ඇති නවීන තාක්ෂණික පහසුකම් වලින් යුක්තය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නීරීක්ෂණය යටතේ නව කාර්ය මණ්ඩලයක් පුහුණු කටයුතුවල නිරතව සිටී. මෙම මගී ප්‍රවාහන නෞකාව යෙදවීමත් සමග එළුවතිවු දුපතේ ජීවත්වන පවුල් 500 කගේ සහ අනලතිවු දූපතේ ජීවත්වන පවුල් 250 කගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට ඉවහල් වනු ඇත.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී.සිවඥානසෝති මහතා, යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.මුරලිතරන් මහතා, කයිට්ස් ප්‍රාදේශීය ලේකම් මංජුලා තේවී සදීසන් මහත්මිය ඇතුළු පිරිසක් Elutharakai මගී ප්‍රවාහන නෞකාව මගින් එළුවතිවු සහ අනලතිවූ දූපත් වල සංචාරයක නිරත විය.

එහිදි අමාත්‍යාංශය යටතේ ඉදිකරනු ලැබූ නිවාස ප්‍රතිලාභි අයිතියට පවරා දීමද සිදු කෙරිණි. අදාළ දූපත් වල පවතින නිවාස, මාර්ග, ස්වයං රැකියා ප්‍රවර්ධනය ඇතුළු සංවර්ධන අවශ්‍යතාවයන් ද මෙහිදී සොයා බලනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *