රිය අනතුරුවලින් දිනකට වන සතුන් 100ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ජාතික උද්‍යාන සහ රක්ෂිත හරහා ඇති මාර්ග භාවිත කරන රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසා උරගයන්, උභය ජිවීන් සහ ක්ෂිරපායී සතුන් දිනකට 100 අධික ප්‍රමාණයක් මියයන බවත් මෙම කරුණ නිසා ඇතැම් කුඩා සත්ව වර්ග උද්‍යානවලින් සහ ලංකාවෙන් සම්පුර්ණයෙන්ම වඳ වීමට ලක්ව ඇති බවත් පොළොන්නරුව කලාප භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්. ඩී. එම්. ජි වික්‍රමසිංහ මහතා පැවසීය.

වනජීවී කලාප අධ්‍යක්ෂකවරයා මෙසේ පවසා සිටියේ එක් දිනක් තුළ මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ නරියෙක්, කලවැද්දෙක් සහ උරුලෑවෙක් රියඅනතුරුවලට ලක්ව මියයෑම නිසා එම රියදුරන්ට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටින්නේ ඇයිදැයි විමසූ අවස්ථාවේදීය.

ඒ පිළිබඳ අදහස් දැක්වූ වනජීවී අධ්‍යක්ෂවරයා කියා සිටියේ උද්‍යාන තුළ හෝ උද්‍යානයෙන් පිට ස්වභාවික පරිසරයේ ජීවත්වන ලොකු කුඩා ඕනෑම ජීවියෙකුගේ භාරකත්වය පවතින්නේ වනජීවී දෙපාර්තමේන්තුව සතුව බැවින් එම සතුන්ට හානි කරන හෝ මරණයට පත් කරන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් සහ අයිතියක් පවතින බවයි.

ජාතික උද්‍යාන හරහා ඉදිකර ඇති සියලු මාර්ග අධිවේගී මාර්ගවලට සමානව ඉදිකර තිබීම නිසා රියදුරන් අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙම සතුන් මියයන බවත් කවුඩුල්ල, මින්නේරිය, සොමාවතිය, වස්ගමුව, අංගම්මැඩිල්ල, මාදුරුඔය ජාතික උද්‍යානවල සහ මින්නේරිය, ගිරිතලේ, ත්‍රිකොණමඩු, හබරණ හුරුළු රක්ෂිතවල රථ වාහන අනතුරුවලින් දිනකට වනසතුන් 100කට අධික ප්‍රමාණයක් මියයන බවත් ඒ මහතා සඳහන් කළේය. මේ හේතුවෙන් තවත් වසර පහක් පමණ කාලයක් ගිය පසු රටට පමණක් ආවේණික සතුන් මෙන්ම වෙනත් සතුන්ද මිහිතලයෙන් සඳහටම තුරන් වීමට ඉඩ ඇති බව ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *