ආපනශාලා ආහාර පාන සදහා පෝෂ්‍යදායී නියාමනයක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සියලු වෙළෙදසල් සහ ආපනශාලා වලින් නිකුත් කරනු ලබන ආහාර පාන සදහා පෝෂ්‍යදායී නියාමනයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබූ තීරණය ක්‍රියාවට නැංවීම ආරම්භ කර තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍යංශ “සුවසිරිපාය‍”‍ පරිශ්‍රයේ පිහිටි ආපන ශාලාව පූර්වාදර්ශී පෝෂ්‍යදායී ආහාරපාන පමණක් නිකුත් කෙරෙන ආපන ශාලාවක් ලෙසින් නැවත විවෘත කිරීමෙනි.

බෝනොවන රෝග පිලිබද ජාතික සභාවේදී ඉදිරිපත්වූ යෝජනාවක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

එම සභාවේ නියෝජිත සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ භානුජ විජේතිලක මහතා පෙන්වා දුන්නේ, පොදු මහජනතාව වෙත ආහාර සම්පාදනය කෙරෙන ස්ථානයන් සෞඛ්‍යාරක්ෂිතදැයි සහතික කරන විධික්‍රමයක් දැනට පවතින නමුත් එම ආහාරයන්හි පෝෂ්‍යදායී බව පිලිබද තහවුරු කිරීමක් අත්‍යවශ්‍ය බවයි. දීර්ඝ කාලයක් පුරා මේ පිලිබද සාකච්ඡාවන් සිදුවුවද ඒ සදහා අනුමැතියක් හෝ ක්‍රියාත්මක භාවයක් මෙතෙක් සිදුවී නොමැත. පසුගිය මස පැවති බෝනොවන රෝග පිලිබද ජාතික සභාවේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ අනෙකුත් සාමාජිකයන්ගේ අනුමැතිය මෙම වැඩ පිලිවෙල සදහා හිමිවී තිබිණ. එම සභාවේ යෝජනාවවී තිබුණේ මෙම වැඩසටහන සමස්ත ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට ප්‍රථම මෙරට රාජ්‍ය ආයතන වල ආපන ශාලාවන්හි ක්‍රියාත්මක කිරීම වඩාත් යෝග්‍ය බවයි. ඒ අනුව පළමු අදියර වශයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ ආපන ශාලාවේ ආහාර සැපයීම් කටයුතු වසි විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර පාන වලින් පමණක් සමන්විතව සිදු කෙරේ. එහි අධීක්ෂණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ “හෙළ බොජුන්” කාර්ය මණ්ඩලය මගින් සිදු කරනු ලබයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය මගින් සෞඛ්‍යයට අනුකූල පෝෂ්‍යදායී ආහාර පාන පිළිබද රීති මාලාවක් සකසා ඇත. ආපන ශාලා වල අලෙවි කෙරෙන පෝෂ්‍යදායී ආහාර පාන විශ්ලේශනයේදී එම රීති මාලාව නිර්නායකයක් ලෙස සලකනු ඇත. බෝනොවන රෝග පිලිබද ජාතික සභාව නියෝජනය කරන ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මිය පෙන්වා දුන්නේ මෙරට ආහාර පණත තුළ තවමත් පෝෂ්‍යදායී ආහාර පිලිබද සදහන්වී නොමැති බවයි.

මෙම වැඩපිලිවෙල සියලු පාසල් ආපන ශාලා වලද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සදහා සාධන මට්ටම දැක්වෙන වර්ණ සංඛේත ක්‍රමයක්ද හදුන්වාදීමට නියමිතයි. එමෙන්ම සියලු රජයේ කාර්යාල සහ පාසල් ආපනශාලා සදහා පෝෂ්‍යදායී ආහාර නිකුත් කිරීම පිලිබද චක්‍රලේඛය මේ වන විට සූදානම්ව පවතින අතර නුදුරේදීම එය අදාළ බලධාරීන් වෙත යොමු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *