2020 පළමු මාස හතරට අතුරුසම්මත ගිණුමක් මැතිසබයට

(කොළඹ, ලංකාපුවත්) –2020 වසරේ පළමු මාස හතර වෙනුවෙන් රුපියල් කෝටි එක් ලක්ෂ හැත්තෑ හතර දහස හාරසියයක අතුරු සම්මත ගිණුමක් මුදල් ඇමැති මංගල සමරවිර මහතා විසින් පාර්ලිමේන්තුවට‍ ඊයේ (23) ඉදිරිපත් කළේය.

නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් ලබන වසර වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කිරීම සිදුකරන තෙක් මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීම සිදුකරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

2020 වසරේ පළමු මාස හතරක කාලය සඳහා පුනරාවර්තන හා මුලධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1470 ක්ද අත්තිකාරම් ගිණුම් වෙනුවෙන් තවත් රුපියල් බිලියන පහක්ද වෙන්කරන බව මංගල සමරවිර මහතා පැවසීය.

එමෙන්ම 2020 වසර සඳහා විසර්ජන පනතක් මඟින් මුදල් අනුමත කර ගැනිමේදී මෙකී වියදම් විසර්ජන පනත ය‍ටතේ සිදුකළ වියදම් ලෙස සළකා එයට අන්තර්ග්‍රහණය කරන බවත් ඇමතිවරයා පැවසිය.

2020 වසරේ පළමු මාස හතරක කාලයේදී රාජ්‍ය ආදායම් ලෙස රුපියල් බිලියන 745 ක මුදලක් අ‍පේක්ෂා කරන අතර එම කාලය සඳහා රුපියල් බිලියන 721 ක මුදලක් ණය ලෙස ලබාගැනීමට අපේක්ෂා කරන බවත් සමරවීර මහතා පැවසීය.

2019 වසරේ මුල් කාර්තුවේදී සියයට තුනයි දශම හත‍ක ආර්ථික වර්ධන ‍වේගයක් තිබූ අතර පාස්කු ප්‍රහාරය සමඟ ආර්ථික වර්ධනයේ යම් පසුබෑමක් සිදුවූ බවත් ඇමැතිවරයා පැවසිය.

පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථිකයට සෘජුව දායකත්වය ලබාදෙන ක්ෂේත්‍ර ගණනාවක් කඩා වැටුනද අද වනවිට එම සියලු ක්ෂේත්‍රයන් යථා තත්ත්වයට පත්ව ඇතැයි පැවසීය. විවිධ වූ සියලු අභියෝග මැද වසරේ සමස්ථ ආර්ථිකයේ වර්ධන වේගය සියයට තුනක අගයක රඳවා ගැනීමට රජය සමත් වූ බවත් පසුගිය රජය විසින් ලබාගත් ණය කන්ද හා පොලිය, ණය වාරික ගෙවීම වෙනුවෙන් වත්මන් රජයට විශාල මුදලක් ගෙවීමට සිදුවූ බවද මංගල සමරවීර මහතා පැවසීය.

පසුගිය රජය විසින් ලබාගත් ණය මුදල් වලින් සිදුකර ඇත්තේ රටේ කිසිවකුට‍ ප්‍රතිලාභයක් ‍නොලැබෙන මහා පරිමාණ සුදුඅලි ව්‍යාපෘති බව අමුතුවෙන් මතක් ‍කිරිමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති මංගල සමරවීර මහතා මෙ‍සේද පැවසීය.

2014 වසරේදී රාජ්‍ය ආදායම ලෙස තිබුනේ රුපියල් බිලියන 1195ක්. එය අපගේ රජය විසින් රුපියල් 2019 වසර වනවිට රුපියල් බිලියන 2357 දක්වා වැඩිකළා. දැනට වක්‍ර බදු වර්ග 22 ක් තිබෙනවා. අපි ඒවා සම්පූර්ණයෙන්ම අවම කර තීරු බදු නිෂ්පාදන බදු වැනි බදු කීපයකට සීමා කළා.බදු ක්‍රමය සරළ කිරිමට අපි කටයුතු කරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *