ශිෂ්‍යත්ව විභාගයට සිටි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 250කට ශිෂ්‍යාධාර

(කොළඹ, ලංකාපුවත්) –2019 වසරේ අගෝස්තු මස පැවැත්වූ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250කට ශිෂ්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

පසුගිය වර්ෂය තෙක් සිසුන් 15,000කට පමණක් පහ ශ්‍රේණි ශිෂ්‍යාධාර හිමිව තිබූ අතර එය මේ වර්ෂයේ සිට 20,000 තෙක් ඉහළ නැංවීමට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට ලැබී ඇති අතර, එම ශිෂ්‍ය සංඛ්‍යාව අතරින් සිසුන් 19,750ක් ශිෂ්‍යාධාර පිරිනැමීම සඳහා තෝරා ගැනෙනුයේ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට ලබාගන්නා ලකුණු පදනම් කරගනිමිනි.

එහෙත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම පදනම් කරගනිමින් මෙම ශිෂ්‍යාධාර ලබාදීමට කටයුතු කරන ලෙස මීට අදාළව නිකුත් කරන ලද කැබිනට් මණ්ඩල තීරණය යටතේ උපදෙස් ලබා දී තිබේ. මෙම ශිෂ්‍යාධාර අරමුදල 6 ශ්‍රේණියේ සිට 13 දක්වා ම අදාළ සිසුන් වෙත ලබාදෙනු ලැබේ.

රටේ සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විවිධ පියවර රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, පහ ශ්‍රේණි ශිෂ්‍යාධාර අරමුදල් ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීමත්, ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 500/- සිට රු750/- දක්වා ඉහළ නැංවීමත් ඒ අතර තවත් සුවිශේෂී පියවරකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *