අබු බකර්ගේ මරණය ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කරයි

(කොළඹ, ලංකාපුවත්) – සැලැසුම් සහගත මෙහෙයුම් කිහිපයකින් ඉකුත් සෙනසුරාදා අයිඑස්අයිඑස් නායක අබු බකර් අල් බෑග්ඩෑඩි ඝාතනය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (27) තහවුරු කළේය. මේ සම්බන්ධව කළින් මහජන නියෝජිතයන් රැසකට දැනුම් නොදුන් බව ද ඔහු වැඩිදුරටත් කීවේය. ධවල මන්දිරයේ දී ඔහු මේ ප්‍රකාශය සිදු කළේය.

තවත් විදෙස් ආරංචි මාර්ගයකින් ප්‍රකාශ කෙරු‍ණේ මෙම ත්‍රස්ත නායකයා ඝාතනය වී ඇතත් තවදුරටත් ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදු කර එය තහවුරු කළ යුතුව ඇති බවයි. අමෙරිකානු හමුදා වැටලීම අතරතුර දී බෑග්ඩාඩි සිය මරාගෙන මැරෙන ඇඳුම පුපුරුවා ගෙන ඇතැයි ද වාර්තා සඳහන් කරයි. මෙම වැටලීම සිදු වී යැයි පැවැසෙන දින මධ්‍යහ්නයේ දී උතුරු ඉඩ්ලිබ් නගරයේ දී දැඩි අඳුරේ හෙළිකොප්ටර් සහ යුද ගුවන් යානා හඬ සහ මැෂින් තුවක්කු ක්‍රියාත්මක වන හඬ ඇසුනු බව ප්‍රදේශවාසීන් මාධ්‍ය වෙත පවසා ඇත.

අමෙරිකානු විශේෂ මෙහෙයුම් නිලධාරීන් විසින වයඹදිග සිරියාවේ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ විශ්වසනීය ඔත්තුවක් මත යැයි විදෙස් වාර්තා හෙළි කරයි. දේශසීමාවට ආසන්න අයිඑස් ත්‍රස්තයන් සිටින සිරියානු නගරයක් වන ඉඩ්ලිබ්වලදී එල්ල කළ හෙළිකොප්ටර් ප්‍රහාරයෙන් පුද්ගලයන් නව දෙනකු මියගොස් ඇතැයි සිරියානු මානව හිමිකම් සංවිධාන ආරංචි මාර්ග පවසා තිබේ.

ලොව වැඩියෙන්ම අවශ්‍යව සිටින පුද්ගලයා ලෙස නම් කොට ඇති අයිඑස් නායකයා අල්ලා ගැනීමට අදාල ඔත්තුවක් වෙනුවෙන් ඩොලර් මිලියන 10ක ත්‍යාගයක් නියම කර තිබිණි. ඔහු වඩාත්ම සංවිධානාත්මක නිර්දය යුද උපක්‍රම සැලැසුම් කිරීමේ නිපුණයකු ලෙස ප්‍රසිද්ධය. 1971 උතුරු බෑග්ඩෑඩයේ සමාරාවල උපත ලබා ඇති ඔහුගේ සැබෑ නම ඊබ්‍රහීම් අවාඩ් අල් බැඩ්‍රි වේ. 2003 අමෙරිකාව ඉරාකය ආක්‍රමණය කරන විට ඔහු එම නගරයේ පූජකයකු වශයෙන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ පාලන සමයේ ඔහු ජිහාඩ්වාදී සටන්කාමියකු ලෙස ක්‍රියාකර ඇතැයි ද ඇතැම් විචාරකයෝ පවසති. අල් කයිඩා නායකයන් රඳවා සිටි අමෙරිකානු සිර කඳවුරක් වන බුකා කඳවුරේ ඔහු වසර 4ක් රඳවා තබා ඇත. 2010 දී ඔහු ඉරාකයේ අල් කයිඩා නායකයා ලෙස පත් වීය. මෙම කල්ලිය අයිඑස් එක්වීමටත්, සිරියාවේ අල්- නුස්රා පෙරමුණ සමඟ ඒකාබද්ධ වීමට උත්සාහ දැරීමත් සමඟ ඔහු ප්‍රමුඛත්වයට පත් විය. විශ්වාස කළ නොහැකි තරම් වෙඩි බලයක් ඇති තම හමුදාවට අමුතුවෙන් සුබ පැතිය යුතු නැතැයි ද මේ අවස්ථාවේ ට්‍රම්ප් පවසා ඇත. මේ ගැන දැනගෙන සිටියේ ඒ සම්බන්ධව කටයුතු කළ අය පමණක් යැයි ද එය ප්‍රසිද්ධියට පත් වූයේ නම් මෙම රාත්‍රී මෙහෙයුමට සහභාගී වූ අයගේ ජීවිත නැති වීමට පවා ඉඩ තිබිණැයි ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ත්‍රස්ත නායකයා ගැන සති කිහිපයක් තිස්සේ ඔත්තු රැස්කර මෙහෙයුම් දෙක තුනක් සැලසුම් කළ බවත් අවසානයේ සාර්ථක මෙහෙයුම දියත් කළ බවත් ඔහු තවදුරටත් කීවේය. මෙම මෙහෙයුම අතරතුර දී රුසියානු ගුවන් කලාපය හරහා පවා ගමන් කිරීමට සිදු වූ බවද ට්‍රම්ප් කීවේය.

නිරීක්ෂණ කාමරයේ සිට තමන් මෙම මෙහෙයුම නිරීක්ෂණය කළ බව ට්‍රම්ප් පවසා ඇතත් ඒ ගැන වැඩි විස්තර කියා නොමැත.

ගුවනින් යාම් සහ ඒම්වලින් සමන්විත මෙම මෙහෙයුම ඉතාම අවදානම් සහගත එකක් යැයි ඔහු වැඩිදුටත් කීවේය. මෙහෙයුම අතරදී හමුදා සෙබළුන්ට ප්‍රාදේශීය වෙඩි ප්‍රහාර එල්ල වී ඇතැත් ඒවා මඟහැර ඉලක්ක වෙත ගොස් ඇත.

අබු බකර්ගේ සිරුර කැබැලි වී ගොස් තිබිය දී සොයාගෙන ඇත. වෙඩි තබා ඝාතනය කළ හෝ යටත් වූ පුද්ගලයින් සියලු දෙනාම එම පරිශ්‍රයෙන් ඉවත් කර ඇත. කිසිදු හානියකට ලක් නොවූ පිරිමි ළමයින් එකොලොස් දෙනෙක් ද ඒ අතර සිටිති.

අයිඑස්අයිඑස් නායකයා සුනඛයකු මෙන් බියගුළු ආකාරයට මියගොස් ඇතැයි කියූ ට්‍රම්ට් රුසියාව, සිරියාව, ඉරාකය සහ සිරියානු කුර්දිවරුන් මෙම මෙහෙයුමට දැක් වූ සහාය ගැන ස්තුතිය පුද කළේය. සිරියානු කුර්දිවරු වටිනා තොරතුරු ලබා දුන් බව ද ඔහු කීවේය. එම පරිශ්‍රයේ සිටි ත්‍රස්තවාදීන් සියලු දෙනා සොයා විනාශ කර ඇති මෙම මෙහෙයුමේ දී අමෙරිකානු භටයන් කිසිවකුගේවත් ජීවිත වලට හානි සිදුවී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *