නිල ඡන්ද පත්‍රිකා බෙදන්න තැපැල්පති වැහි කබා ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –පවතින අධික වැසි හේතුවෙන් නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට දැඩි බාධා සිදුව ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

වැසි මගින් ඇති වන බාධා මඟහරවා ගැනීමට තැපැල්කරුවන්ට අවශ්‍ය වැහි කබා ලබා දෙන ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව තැපැල්පතිවරයා සඳහන් කළේය.

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට තැපැල්කරුවන් 9,000ක් පමණ යොදවා තිබෙන අතර ඡන්දදායකයන්ට ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් යොමු කිරීමට රුපියල් මිලියන 8,400ක මුදලක් වැය වන බව තැපැල්පතිවරයා සඳහන් කළේය.

මේ වන විටත් සමහර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලට යොමු කර තිබෙන අතර ජනාධිපතිවරණ පනතට අනුව තැපෑල හරහා සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ජනතාව අතට නොමිලේ පත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

එහෙත් වෙනත් අයෙකු ප්‍රවර්ධනය කිරීමට හෝ වෙනත් අයෙකුට අගතියක් සිදු වන ආකාරයේ ලේඛන යැවීමට අවස්ථාව ලබා නොදෙන අතර ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ගබඩා කර ඇති තැපැල් කාර්යාලවලට මැතිවරණය අවසන් වන තෙක් පොලිස් ආරක්ෂාව සපයන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *