වී කිලෝවකට අනුරගෙන් ස්ථාවර මිලක්

(කොළඹ, ලංකාපුවත්) – ගොවි ජනතාවට වී කිලෝවක් සඳහා සහතික ස්ථාවර මිලක් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අම්පාර ප්‍රදේශයේ ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය අම්පාර නගරයේදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“අපි කොම්පැණිවලට දීපු ඉඩම් ඔක්කොම පවරගෙන ආපහු ගොවි ජනතාවට දෙනවා.

අපේ රටේ කෘෂි බිම් තියෙන්නේ සියයට 11යි. මේ ටිකත් නැති වුණොත් මොකද අපිට වෙන්නේ?

ඒ නිසා වගා කරන තැන් මොනවාද, වනාන්තර තියෙන්නේ කොතැනද, නිවාස සංකීර්ඛ තියෙන්නේ කොතනද? මේ ඔක්කෝම ගැන කල්පනා කරපු ඉඩම් පරිහරණ සැළැස්මක් අපි මේ රටට හදනවා. ඒක නීතියකින් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා. ඒක කාටවත් බිඳින්න ඉඩ දෙන්නේ නෑ.

මේ භූමිය සජිත් ප්‍රේමදාසගේ කෝම්පිට්ටු ගෙවල්වලින් පිරෙව්වානම් මොකද වෙන්නේ?

මුළු ඉඩම් සම්පතම නැති කරලා තියෙන්නේ.

තමන්ට ඕනේ වුණහම මහා රූස්ස කැලෑ කපලා ගෙවල් හදනවා ඡන්ද ගන්න.

ඒ නිසා මේ තැනින් තැන ගෙවල් හදන එක නතර කරන්න ඕනේ.

ආණ්ඩුවෙන් හදන සියලු නිවාස ව්‍යාපෘති මහල් නිවාස බවට පත් කරනවා. ඒවගේ ඉන්න පුරුදු වෙන්න වෙනවා.

ෂර්ට් එක ගලවලා ජෑම් ගහ ගාව ඉදන් ඉන්න බැරිවෙයි, විටක් කාලා කෙළ ගහන්න බැරිවෙයි..

දැන් පොහොර ගැන ලොකු සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා.

මම නම් මේ දෙන සහනාධාරේට වඩා රුපියලකින්වත් වැඩි කරන්නේ නෑ.

හැබැයි එක සහතිකයක්..හරි වෙලාවට ගුණාත්මක පොහොර දෙනවා..

දැන් ගේන පොහොර බාල පොහොර..පොහොර මිටියක් සල්ලිත් එක්ක දුන්නත් වැඩක් නෑ..

අපේ ගොවි ජනතාව වකුගඩු රෝගීන් බවට පත් වෙලා තියෙන්නේ..පිළිකාවත් විශාල ලෙස ව්‍යාප්ත වෙලා..ඇයි? වස විසවලින් මේ පොළොව පිරිලා..

ඒ නිසා අපි ක්‍රමානුකූලව රසායනික පොහොර අඩු කරමින් කාබනික රසායනික පොහොර මිශ්‍රණයක් රටේ ගොවි ජනතාවට හඳුන්වා දෙන වැඩපිළිවෙල ආරම්භ කරනවා..

ගොවි ජනතාවට වී කිලෝ එකට ලැබෙන මිල ස්ථාවර මිලක් බවට පත් කරනවා.

හැම වසරකම නිෂ්පාදන පිරිවැය ගණනය කරලා ප්‍රකාශයට පත් කරනවා, වී කිලෝ එකක් ගත හැකි අවම මිල මෙච්චරයි කියලා..

ඊට වඩා අඩුවට කාටවත් කිරන්න දෙන්නේ නෑ.

කන්න දෙක තුනක් යනකොට අපේ ගොවි ජනතාවගේ ජීවිතය උසස් කරනවා.

අපේ ආර්ථික ප්‍රතිපත්තිය සංවර්ධනාත්මක ආර්ථික ප්‍රතිපත්තියක්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *